Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget

 

matara bodiya Add comments

ගත සිත සැනසෙන මඟ

“ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදෝ ච ධම්මේසු
ඒතං මංගල මුත්තමං”



පින්වත්නි,
මංගල සූත්‍රයේ ඇතුළත් ඉහත සඳහන් ගාථාවෙන් මංගල කරුණු තුනක් ගැන කියැවේ. ඒ අනුව පව් වලින් වෙන්වීම, සුරාපානයෙන් වෙන්වීම හා පමා නොවී කුසල කර්මවල හිත යෙදවීම යන කරුණු තුන උතුම් මංගල කරුණු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.
“ආරති විරති පාපා” මෙහි ආරති යනුවෙන් පැහැදිලි කරන්නේ පව් වැඩ, අයුතු වැඩ අගතිගාමී වැඩ කිරීමෙන් උදාවන ආදීනව දැක ඒවා නො කිරීමයි.
“විරති” නම් වැළකීමයි. මේ විරතිය ක්‍රම තුනකින් පෙන්වා තිබෙනවා. සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති යනුවෙනි.
තමාගේ තත්ත්වය ගැන සලකා බලා මා වැන්නෙකුට මෙවැනි පව් වැඩ නරක වැඩ අසාධාරණ වැඩ අයුතු වැඩ කිරීම නො වටී යැයි සිතා ඒ ඒ අවස්ථාවලදී එවැනි පාප ක්‍රියා වලින් වෙන්වීම “සම්පත්ත විරතියයි” සිල් සමාදන් වීමෙන් හා ඉන්පසු ජීවිත පරිත්‍යාගයෙන් පරපන නැසීමෙන් වළකින තැනැත්තාට උපදින්නා වූ විරතිය සමාදාන විරතියයි.
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මග සතර ඵලයන්ට පැමිණි ආර්ය පුද්ගලයෝ කිසි දිනක පව් නොකරති. පව් කිරීමට හේතුවන අකුසල ධර්ම සිය සිත් වලින් දුරු කළ හෙයින් කිසිම දුෂ්චරිතයක් කිරීමට සිතකුදු ආර්ය පුද්ගලයන්ට නූපදිත්. එලෙසින් දුශ්චරිත ප්‍රහාණය වීම “සමුච්ඡේද විරති” නම් වේ.
“මජ්ජපානා ච සඤ්ඤමෝ” යනු මත් වතුර ආදී ඉදුරන් දුර්වල කරන පාන වර්ග පාවිච්චියෙන් දුරුවීම මෙයින් අදහස් කෙරෙයි. සුරා පානය මිනිසා තිරිසනා කරන්නාවූ ද හැම පාපයකටම මුල් වන්නා වූවකි. පිරිහීමේ කරුණකි. පරාභව, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ යන මේ සූත්‍ර දේශනාවල මේ ගැන විශේෂයෙන් සඳහන් කරමින් සුරාපානය පරිහානියට පත්වන කරුණක් ලෙස පෙන්වා දී තිබේ.
සුරාව හේතුවෙන් මිනිසා ශාරීරික මානසික ආර්ථික ආදී නොයෙක් ආකාරයෙන් පිරිහීමට පත් වූහ. බුදුරජාණන් වහන්සේ මේ නිසාම සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන මේ සිල් පදය ආරක්‍ෂා කරන ලෙසට පන්සිල්, අටසිල්, දසසිල් ආදියෙන් පෙන්වා දෙයි.
“සුරාමේරය පානං භික්ඛවේ නිරයං සංවත්තතිකං හෝති” ආදී ලෙසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුරා පානයෙහි ආදීනව දෙසූ සේක. සුරාපානය කරන පුද්ගලයන් මරණින් මතු නරකාදිය, තිරිසන් අපාය ප්‍රේත ලෝකවල ඉපදී දුක විඳින බව ද මිනිස් ලොව උපන්නේ නම් උමතු බවට පත්වන බව ද දේශනාවෙහි සඳහන් වෙයි.
සුරා පානයෙහි මෙලොවදීම ලැබෙන විපාක නම් ඇස්හමුවෙහිදීම තමා සතු ධනය විනාශ වී යාම, කළ කෝලාහල වලට මුල්වීම, නොයෙක් රෝගවලට ගොදුරු වීම, අපකීර්තියට භාජනය වීම, ලැජ්ජා භය නැතිවී යාම, නුවණ දුර්වලවීම යන මේ කරුණු සිගාලෝවාද සූත්‍රයෙහි සඳහන් වෙයි.
“තිදිවා වණ්ණං තිමලප්ප භවං” ආදී ඉගැන්වීම් වලට අනුව පැහැදිලි වන්නේ සුරා පානය කිරීම නිසා දෙව්ලොව ගමන ඇණ හිටියි. රාග, දෝස, මෝහ යන ත්‍රිවිධ කෙලෙස් ඇතිවෙයි. කාමාදී භවයන්හි උපන්නත් භවයෙන් මිදීමට නොහැකි වෙයි.
බුද්ධාදී උතුමන් විසින් ගර්හා කරණු ලබයි. කාය, වචී, මනෝ යන ත්‍රිවිධ දුෂ්චරිත වලට හේතු වෙයි. බුදුරදුන්ගේ අගනා අනුශාසනයට පිටුපා වැඩකරන්නේ වෙයි.
සිහිය මුලාවීමට හේතුවන ද්‍රව්‍ය වශයෙන් වර්තමානයේ තිබෙන මත් වතුර මත් කුඩු යන මේවාට ඇබ්බැහි වූ ඇතැම් තරුණ පිරිසක් විපතට, රෝගවලට, උමතුවට භාජනය වී සිටිති. දහස් ගණන් මව්පිය වරුන් ඒ අනුව තම දරුවන් නිසා දුක්වන අයුරු සිතා බලන්න. පවුල් අවුල් කරගත් අනන්ත අප්‍රමාණ පිරිසක් ගැන කල්පනා කර බලන්න. මෙසේ සිතා බලා මෙම සුරාමේරය පාවිච්චියෙන් වැළකී සිටීම උතුම් මංගල කරුණක් බව සිතට ගන්න.
“අප්පමාදො ච ධම්මේසු ඒතං මංගල මුත්තමං” කුසල ධර්මයන්හි පමා නොවී සිහි බුද්ධියෙන් යුක්තව ක්‍රියා කිරීම මංගල කරුණකි. “අප්‍රමාදය” යනු පමාදයට ප්‍රති පක්‍ෂ වූ කරුණයි. “අප්පමාදෝ නාම පමාදස්ස පටික්ඛ භූතෝ ඒකෝ ධම්මෝ” යනුවෙන් එය දහමෙහි සඳහන් වේ. හැම දෙයින්ම ප්‍රමාද වන්නේ අමතක වීමෙනි. සිහිය නැතිවීමෙන් වැඩ කටයුතු ප්‍රමාද වේ. අතපසු වේ. “වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනු අවසාන බුද්ධ වචනයයි. ඒ නිසා කුසල ධර්මයන්හි පමා නොවී ක්‍රියා කළයුතු බව දැනගෙන දාන සීලාදී දස කුසල් දහම්හි අප්‍රමාද විය යුතුය. එළඹ සිටි සිහියෙන් යුතුව ක්‍රියා කළ යුතුය. එවිට කිසි දිනක ඔහුගෙන් අකුසල් සිදු නොවේ. සිත කුළු මීමෙක් හා සමානය. කුළු මීමා දුටු දුටුවන්ට අනින්න පනියි. නොයා යුතු මඟ යයි. කොයි මොහොතේ කොතැනදී විපතට පත් වේ දැයි කිව නොහැකිය.
ඒ ආකාරයෙන් ම දමනය නොකළ සිත නොයෙක් අරමුණු කරා යයි. කුසල ආරම්මන අකුසල ආරම්මන දෙකින් වැඩි ලෙස ඇදී යන්නේ අකුසල ආරම්මන දෙසටය. තවත් අවස්ථාවක සිත නිල මැස්සා මෙනි. නිල මැස්සා දුගදටම හඹා යයි. එපරිද්දෙන් පෘතග්ජන සිත, කෙලෙස් බරිත තැනැත්තාගේ සිත ද නරක පැත්තටම ඇදි යයි. හොඳ නොහොඳ පින පව යුක්තිය අයුක්තිය හරි හැටි නොදනී. ඒ නිසා යමෙක් සිත දමනය කරන්නේ නම් ඔහු සැනසෙන්නෙක් වෙයි. “චිත්තං දන්තං සුඛා වහං” යනු බුදු වදනට අනුව සිත දමනය කළ තැනැත්තා සැප ලබන්නේ වෙයි.
තෙරුවන් සරණයි

0 comments

Post a Comment

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

Archives

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks