Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget



අප දන්නවා ඇස, කණ, නාසය, දිව, කය, මනස ආශ්‍රය කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ උපදිනවා. මේ දේවල් තථාගතයන් වහන්සේ වැඩ සිටින කාලයේදීත් තිබුණා. නමුත් ඒවා පිනවන්නට මිනිසුන්ට එදා එතරම් වුවමනාවක් තිබුණේ නැහැ. මිනිසුන් ඒවා පිනවන්න යෑම තුළ සිදුවන ආදීනව ධර්මය තුළින්් විමසා බැලුවා. ඒ ධර්මය තුළින් දැකල තිබුණ නිසා ඔවුන් ඒවායින් වැලකුණා. ඒ නිසා එදා කාලයේ අපරාධ අඩු වුණා

තථාගතයන් වහන්සේ ගේ ධර්මය පිළසරණ ලබන්නට නම් ඒ දහම තමා තුළට පමුණුවා ගන්න ඕන. ධර්මයේ තිබෙන විශේෂ ගුණ තමයි එහිපස්සිකෝ සහ ඕපනයික ගුණ. ඇවිත් බලන්න කියා උන්වහන්සේ වදාළේ ඇදකුද සොයන එක නොවේ. කොහොමද? මේ දහම් කරුණු මගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නේ කියා අපගේ් අඩුපාඩු සකසා ගන්නයි අප ධර්මය ඇසිය යුත්තේ. එසේ ධර්මය අසනවිට අප තුªළ තිබෙන දුරාචාරකම්, නො පනත්කම් සදාචාර විරෝධි ක්‍රියාවන්ගෙන් වළකින්න පුළුවන්කම තිබෙනවා. එහෙම බණ අහන අයගේ අඩුවක් අද අප දකිනවා. බණ ඇහෙන සහ ඕනෑවට එපාවට පින්කම් වලට සහභාගිවන පිරිස අද වැඩියි.
අප රටේ සම්ප්‍රදායක් තිබෙනවා මලගිය ඤාතියා සිහි කරමින් හත් දවසේ , තුන්මාසේ, අවුරුද්දේ පින්කම් කරනවා. මේ බණ ගෙවල්වලට එන බොහෝ පිරිස යන්නේ බණ අහන්නටත් වඩා ජීවත් වන නෑයින්ට තිබෙන සැලකිල්ලට යි.
ඒ වගේම ධර්ම දේශනාවට ස්වාමින්වහන්සේ නමක් වැඩියම නිවස ඇතුලේ විවිධ වැඩ කරනවා. උස් හඬින් කතාබහ කරනවා. ස්වාමින් වහන්සේටත් ධර්ම දේශනා කරන්න අමාරු අවස්ථා තිබෙනවා. එසේ බණ අසන තැන්වල මිනිසුන්ගේ අධ්‍යාත්මික වර්ධනයක් ඇතිවෙනවා කියලා හිතන්න අමාරුයි. එය ධර්මයේ අඩුවක් නොවේ. බණ අහන අය පුරුදු කරපු ක්‍රමයේ වැරැදක්.
ඒ වගේම අපේ සමහර ධර්ම දේශකයන් වහන්සේලා පුරුදුවුණා වට අත්තෙන් මුහුණ වහගෙන තමා හිතාගෙන ගිය බණ ටිකම එතනැදී දේශනා කර එනවා. මේ කියන බණ මෙතැනට ගැලපෙනවා ද? මේ ධර්මය කොතරම් පිරිසක් ග්‍රහණය කර ගන්නවාද කියා හිතන්නේ නැහැ. මිනිසුන් ඇසුවත්, නැතත් පැය යනතුරු දේශනා කර එනවා. නමුත් විය යුත්තේ එය නොවේ. කියන දහම් කරුණු මිනිසුන් අවධානයෙන් අහගෙන ඉන්නවද කියලා බලන්න ඕන. ඒ වගේම අවධානය ගන්න බණ කියන්නත් උන්වහන්සේලා දක්ෂ විය යුතුයි. එතැන සිටින පුද්ගලයන්ගේ පරිසරය, අවිචාර විධි හැසිරීම් රටාව වාගේ දේ අධ්‍යයනය කරමින්් බණ කීම තමා සුදුසු වන්නේ. එසේ බණ කියනවානම් මිනිසුන් මීට වඩා බණ අසනවා.
අප දන්නවා ඇස, කණ, නාසය, දිව, කය, මනස ආශ්‍රය කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ උපදිනවා. මේ දේවල් තථාගතයන් වහන්සේ වැඩ සිටින කාලයේදීත් තිබුණා. නමුත් ඒවා පිනවන්නට මිනිසුන්ට එදා එතරම් වුවමනාවක් තිබුණේ නැහැ. මිනිසුන් ඒවා පිනවන්න යෑම තුළ සිදුවන ආදීනව ධර්මය තුළින්් විමසා බැලුවා. ඒ ධර්මය තුළින් දැකල තිබුණ නිසා ඔවුන් ඒවායින් වැළකුණා. ඒ නිසා එදා කාලයේ අපරාධ අඩු වුණා.
අද මේ තිබෙන තොරතුරු තාක්ෂණය දියුණුවක් සමඟ සිදු වූ දෙයක් තමයි හොඳ හා නරක දෙකම ප්‍රචාරය වීම. එදා රජකාලයට වඩා අද ලොව පුරා බුදු දහම ප්‍රචාරය වෙලා තිබෙනවා.විශ්ව ගම්මානයක් බවට පත්වීමත් සමග ධර්මය විකාශනය වෙලා එය හදාරණ පිරිස වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණයේ මහිමය නිසා අපරාධ ව්‍යාප්ත වී තිබෙනවා. දැන් සිදුවන අපරාධවලට දෙන ප්‍රසිද්ධියත් වැඩිවලා. ඒ ප්‍රසිද්ධිය වැඩිවීම තුළ මිනිසුන් හොඳ දේවල්වලට දෙන ප්‍රසිද්ධිය ටික ටික අඩුවෙලා තිබෙනවා.
අද බොහෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කරන දෙයක් තමයි ඒ අයගේ පේ‍්‍රක්ෂකයන් වැඩිකර ගැනීම සඳහා වෙළෙඳ දැන්වීම් වැඩිකර ගන්න හොඳ ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබෙන දේ හැටියට අද ඇතැම් මාධ්‍ය ආයතන වැඩිපුර භාවිතා කරන්නේ අපරාධ, මිනී මරණ හැටි ඒවා නැවත රඟ දක්වලා පෙන්වනවා. ඒ තුළින් ඒ අපරාධ අදවනවිට සාමාන්‍යකරණීය වෙලා තිබෙනවා. ඉස්සර මනුස්සයෙක් මැරුණාම අපේ අපොයි කියනවා. ඒත් අද අහන්නේ කී දෙනෙක් මැරුණාද කියලා. එයට මාධ්‍යයත් වගකිව යුතු වෙනවා. අපරාධවලට දෙන ප්‍රසිද්ධිය වැඩිවලා තිබෙනවා. මේ හැම අංශයකම තිබෙන පුංචි දුර්වලතා නිසා තමයි මේ සමස්ත පරිහානිය උදාවෙලා තිබෙන්නේ. සර්ව රාත්‍රික පිරිතක් ධර්ම දේශනාවක් චෛත්‍ය වන්දනාවක් ආදි දේ සජීවී ව හරි පටිගත කරල හරි විකාශනය කරන අවස්ථා බොහෝ අඩුයි. නමුත් රැය පුරා තිබෙන සංගීත සංදර්ශනයක් ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය කරනවා. එයට අනුග්‍රහයක් තියෙනවා. එයින් වෙන්නේ මිනිසුන්ගේ කෙලෙස් ඇවිස්සීම නම් කෙලෙස් ඇවිස්සීම තුළ මාරාවේශය සිදුවෙනවානම් ක්ලේශ මාරයා ඔවුන්ට ආරූඪ වෙලා විවිධ අපරාධ කරනවා නම් ඒවාට අප හැමෝම වගකියන්න ඕන. එනිසා එක අංශයයකට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව පොදු දුර්වලතා ලෙස ඒවා හඳුනාගෙන කටයුතු කරන්න අප උනන්දු වෙන්න ඕන.
තථාගතයන් වහන්සේ වදාළේ ධම්මකාමෝ භවංහෝති - ධම්මදෙස්සී පරාභවෝ කෙනෙක් ධර්මකාමීව ජීවත් වෙනවානම් ඔහුට දියුණුවක්මයි වන්නේ. කෙනෙක් ධර්මයට ද්වේෂ කරමින් ධර්මයට පිටුපා යනවානම් ඔහුට අයත් වන්නේ පරිහානියම තමයි. අප හොයා බලන්න ඕන ධර්මයට පිටුපා යන්න හේතු මොනවාද, ධර්මය තමාට පිටුපා යන්න හේතු මොනවාද කියා. එහිදී බොහෝ විට ධර්මය තුළින් තමන්ට වාසි ලෙස යොදා ගන්නට නොහැකිවූ විට ධර්මයට පිටුපා යනවා. ඒ වගේම ධර්මය තමාගේ ජීවිතයට ගලපා ගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති නිසාත් අකටයුතුකම් කරනවා. එනිසා අප ධර්මය අසන්න ඕන ධර්මානුකූ®ලව අප තුළ තිබෙන අඩුපාඩු සකසා ගැනීමටයි. එහෙම නැතුව ධර්මයේ තිබෙන අඩුපාඩු සොයන්න නොවේ.
අප අවංකවම තථාගතයන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගෙන මගේ අඩුපාඩු හදා ගන්න ඕන කියා සිතුවානම් ඔහුට දියුණුවක්මයි වන්නේ. තමාගේ දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතාවලට පිළියම් ලෙස ධර්මයේ යෙදෙන්න පුළුවන්නම් එයාට අයිති වන්නේ දියුණුවක්ම යි.
අප කාටත් පංචකාම සම්පත් නැති තැන ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ කාම සම්පත් හමුවේ ඇලෙන්න ගැටෙන්න මුලාවට යන්නේ නැතුව ඒවා පරිහරණය කරන්න අප පුරුදු වෙන්න ඕන. ඒවා තුළ අනවශ්‍ය ආකාරයට සන්තර්පනය වෙලා කයින් වචනයෙන් සිතින් දුරාචාරයේ නොයමින් අවංකවම සම්පත් පරිහරණය දන්න ඔබ දක්ෂ වෙන්න.
තථාගතයන් වහන්සේ අපට වදාළේ නැහැ රූප බලන්න එපා ඇස් දෙක වහගෙන ඉන්න කියලා. උන්වහන්සේ් වදාළේ රූප බලන්න. නමුත් ඒවා පරිහරණය කරන විට තමාගේ් හැඟීම් කෙලෙස් අවුස්සා ගන්නේ නැතුව ඒවා පරිහරණය කරන්න උත්සහ කරන්න කියලයි. කෙලෙස් ඇවිස්සෙන්නේ නැති විදිහට සමාජයේ කටයුතු කළොත් එයාට ශාන්තියක් යහපතක්මයි සිදුවන්නේ.

Read More »





මංගලකාරණා මොනවාදැයි එදා සමාජයේ ඇති වූ ව්‍යාකූ®ලත්වය සමනය කිරීම උදෙසා දෙවියන්ගේ ආරාධනයෙන් දේශනා කළ මෙය හේතුකාරණා සහිතව අර්ථාන්විත මංගල කාරණා දේශනා කරයි. අහේතුකව නිවැරැදි නොවන අභිචාර පවත්වා ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික පරිහානිය ඇති කර ගන්නා බොහෝ දෙනෙකුට මෙය දිව ඔසුවකි. එයට හේතුව වන්නේ නිසියාකාර ව මෙහි සඳහන් මංගල කාරණා අටතිස (38) යොදාගනිමින් ජීවිත ජයගත්තැනැත්තන් අනන්ත අප්‍රමාණ බැවිනි. බෞද්ධ සාහිත්‍ය තුළ ඕනෑ තරම් මේ සදහා නිදසුන් ඇත.

බුදුදහම පුද්ගලයාගේ දෙලොව දියුණුවම එක හා සමානව අගයන දර්ශනයකි. ඒ බව ‘ද්විචක්ඛු පන සූත්‍රය’පැහැදිලිව සඳහන් කරයි. දියුණුව ඇතිවීම හා පවත්වාගෙන යාම සඳහා නම් වඩාත් සුබ නිවැරැදි ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වීම වැදගත්ය.යමෙක් දීර්ඝකාලීන සාර්ථක කෙනෙකු වීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔහු විසින් අධ්‍යයනය කළ යුතු සූත්‍ර අතර මහාමංගල සූත්‍රය ප්‍රධානයි. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මෙම දේශනය පිරිත් පොත් වහන්සේ තුළ ආශිර්වාදාත්මක දේශනයක් ලෙස පළමු බණවරට අයත්ය.
මංගලකාරණා මොනවාදැයි එදා සමාජයේ ඇති වූ ව්‍යාකූ®ලත්වය සමනය කිරීම උදෙසා දෙවියන්ගේ ආරාධනයෙන් දේශනා කළ මෙය හේතුකාරණා සහිතව අර්ථාන්විත මංගල කාරණා දේශනා කරයි. අහේතුකව නිවැරැදි නොවන අභිචාර පවත්වා ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික පරිහානිය ඇති කර ගන්නා බොහෝ දෙනෙකුට මෙය දිව ඔසුවකි. එයට හේතුව වන්නේ නිසියාකාර ව මෙහි සඳහන් මංගල කාරණා අටතිස (38) යොදාගනිමින් ජීවිත ජයගත්තවුන් අනන්ත අප්‍රමාණ බැවිනි. බෞද්ධ සාහිත්‍ය තුළ ඕනෑ තරම් මේ සදහා නිදසුන් ඇත. වර්තමානයේ පවා යම් සාර්ථකත්වයක් ලැබූවෙකු ඇත්නම් ඔහු මේ කාරණා සියල්ලන්ගෙන්ම යුක්ත නොවූවත් කාරණා කිහිපයකින් හෝ සම්පූර්ණ වූවන් ය.
දෙවියන් ඇසූ පැනයට (බහුදේවා මනුස්සාච මංගාලානි අචින්තයුං) බුදුරදුන් පිළිතුරු වශයෙන් දේශනා කළ මංගල කාරණා මෙසේය.
අනුවණ බාලයන් ආශ්‍රය නොකිරිම (අසේවනාච බාලානං) ගුණ ධර්ම වලින් පහත් ගති විදහාපාන එමෙන්ම තම ජීවිතයට කිසිදු අයුරකින් සාරධර්ම වශයෙන් යමක් ගත නොහැකි මනස මෙහෙය වා බුද්ධියෙන් කටයුතු නොකරන අපාය සහාය ආදි පරිහානියට මග කියන්නා වූ පිරිස් සමග කටයුතු කිරීම සුබ නොවේ. සමාජ ව්‍යවහාරයට අනුව “අනුන්ගෙ පව්වලට කරගහන්න” සිදුවන්නේද මෙබඳු ආශ්‍රයන් නිසාවෙනි.
නුවණැති පණ්ඩිතයන් ඇසුරු කිරීම (පණ්ඩිතානඤ්ච සේවනා) උසස්ගති විදහාපාන බුද්ධියෙන් තීරණ තීන්දු ගන්නා දියුණුවට මඟ කියන තමාට වඩා දැනුමෙන් අකාල්පවලින් යුතු පිරිස් ආශ්‍රය කිරීම මංගල හෙවත් සුබ කටයුත්තකි.
පිදිය යුත්තන් පිදීම (පූජාච පූජනීයානං)
ජාති කුල ගොත් මානයෙන් ධනයෙන් හෝ බලයෙන් මත් නොවී ගරු කළ යුත්තන්ට ගරු කිරීම උදාරතර පුරුෂාර්ථයකි. එමෙන්ම ආශිර්වාදයකි.මෙම ශ්‍රේෂ්ඨ ගුණය දෙලොව සුගතිගාමී වීමට බලවත් හේතුවක් වේ. සිත් පිත් නැති ඇසතු බෝරුකට පවා බුදුන් වහන්සේ අනිමිසලෝචන පූජාවෙන් පුදනු ලැබූ සේක.
සුදුසු ගැළපෙන ප්‍රදේශයක වාසය කිරීම (පතිරූප දේස වාසෝච) පරිසරය අනුව පවා පුද්ගල දියුණුව පරිහානිය තීරණය වේ. එකම ගිරා මවගේ ගිරා පෝතකයන්ගේ චර්යාවන් වෙනස් වූයේ පරිසර සාධක නිසාවෙනි. වස් විසීමට හා බණ භාවනා සිදුකිරීමට පවා සුදුසු ප්‍රදේශ නිර්දේශ කළේද එහෙයිනි.
පෙර කරන ලද පින් ඇති බව (පුබ්බේච කතපුඤ්ඤතා)
පූර්ව භවයන්හි කරන ලද කුසල ශක්තීන් තිබීම අත්‍යවශ්‍යය. ගිහි වුවත් පැවිදි වුවත් දෙවියන් වුවත් පින අවශ්‍ය බව ධර්මයෙහි අවධාරණය කරයි. බොහෝ දෙනෙකු දෛවය වාසනාව ලෙස අර්ථගන්වන්නේ මෙම ශක්තියයි. සමාජයෙහි නරක යැයි සම්මත ධර්මයෙහි “ පව්” ලෙස විවරණය කරන ක්‍රියාවන්ගෙන් ඉවත්වීම මංගල කාරණයකි.
තමන් මනාව සුසිරිතයෙහි පිහිටීම (අත්තසම්මාපණීධිච) කළ යුතු කාර්යන් පිට කළ යුතු වචන සිතිය යුතු යහපත් සිතුම් සහිතව ආදර්ශවත්ව ජීවත්වීමට වඩා සුබ කාර්යක් නැත. තමන්ගේ ක්‍රියා කාරීත්වය අයහපත්වීම සියලු දෙනාට සුබ නොවේ.
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව (බාහු සච්චඤ්ච සිප්පඤ්ච)
සමාජය පිළිබඳවත් එහි ක්‍රියාකාරීත්වයත් තම ක්ෂේත්‍රය ගැනත් ඉන් පරිබාහිර දේ පිළිබඳව දැනීම පුද්ගලයෙකුගේ අනාගත දියුණුවට හේතුවයි.ටික දෙයක් පිළිබඳ ගොඩක් දැනීමත් බොහෝ දේ පිළිබඳ ටික ටික දැනීම ලෝක ස්වභාවය දැන ගැනීම උතුම්ය. ධර්මය තුළ බහුශ්‍රැත යන්නෙන් විස්තර වන්නේ නොදන්න දේ පිළිබඳව දන්නවා යැයි පවසා තව පිරිසක් මුලාවට පත්කිරීම නොවේ. පණ්ඩිතකම යහපත් වුණත් අතිපණ්ඩිතකම යහපත් නොවන බව ධර්මය සඳහන් කරයි.
විනය ඇති බව හා හික්මීම (විනයෝච සුසික්ඛිතෝ)
කායිකව , වාචසිකව හා මානසිකව සංයමයෙන් ජීවත් වීම උතුම් දායාදයකි. කෙනෙකු බැබලීමට මෙය හේතුවෙකි. වැදගතෙක් ලෙස සමාජය මනින මිම්ම මෙයයි. උගත්ය. බුද්ධිමත්ය යන්න මෙයින් මැනේ. හිතෝපදේශ කතුවරයා ඒ බව මෙසේ දක්වයි. “ විද්‍යා” දදාති (විනයා විද්‍යාව තුළින් හික්මීම ලබාදෙයි.
යහපත් වචන ඇති බව (සුභාසිතාච යා වාචා)
වාචසික සංවරය සමාජ ගෞරවයට පාත්‍රවීමට බලවත් හේතුවකි. කෙනෙකුට සංග්‍රහ කළහැකි උතුම්ම සංග්‍රහ වස්තුව පි‍්‍රයවචනයයි. උදෑසන දවස පටන්ගත් මොහොතේ සිට අනෙකාට යහපත් වචනයෙන් සංග්‍රහ කළ හැකි නම් එය තරම් යහපත් සංග්‍රහයක් නැති තරම්ය.
මවුපිය උපස්ථානය (මාතාපිතූ උපට්ඨානය)
පූර්ව ආචාර්යවරු වන මව්පියන්ට සැලකීම තරම් දරුවන්ට වෙනත් ආශිර්වාදයක් නැත. දීපංකරපාද මූලයෙහි නියත විවරණ ලැබීමට පෙර ගෞතම බෝසතාණන් වහන්සේ පළමු විවරණ ලැබුවේ තම මෑණියන්ගෙනි. උතුම් බුද්ධත්වය සමකල ලෞකික එකම පදවිය මව්පදවිය හා පිය පදවිය යි.
’තම බිරිඳට දරුවන්ට සැලකීම (පුත්තදාරස්ස සංගහෝ) පවුල් සංස්ථාව තුළ නිසි වගකීම තේරුම් ගනිමින් යුතුකම් හැඳිනගෙන භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකවද දරුවන්ගේ මිනිස්කම පිපිදෙන ලෙස කටයුතු කිරීම යහපත් ය.
නිරවුල් කර්මාන්තවල යෙදීම (අනාකුලාච කම්මන්තා)
තමා ගැන පමණක් සිතා කොහොම හරි ජීවත්වෙනවා යන පදනමේ නොසිට “ ධම්ම” යන පදයට යටත්ව තම ආර්ථික කටයුතු මෙහෙය වීම (ධම්මේන අසහසේන) ධාර්මිකවීම හා සැහැසි නොවීම බුදුදහමේ අනුදත් මාර්ගයයි. තුලා කූට, මාන කූට ආදි අයහපත් වෙළෙද උපක්‍රම භාවිතා නොකර කර්මාන්තවල යෙදීමත් වස විස අවි ආයුධ මස් මාංශ වෙළෙඳාමෙන් බැහැරවීම ජීවිතයට සුබ වීමට හේතුවකි.
දන්දීම දහම්හි හැසිරීම (දානඤ්ච ධම්මචරියාච)
ධර්මානුකූල ජීවිතයත් තමන් සතු දේ ලැබිය යුත්තන්ට ලබාදීම භව සමුදය ලැබීමට බලවත් හේතුවකි. කය, මනස, මනාව පිහිටීමටත් දීර්ඝායුෂ සම්පත් විදීමටත් මෙය හේතුවේ. භවය තුළ සමෘද්ධිය නැති විට භව නිරෝධය හෙවත් භවය කෙටි කිරීම බාධාවකි.
නෑයන්ට සංග්‍රහ කිරීම (ඤාතකානන්ච සංගහෝ)
තමා සැපවත් වනවාසේම තම ඥාතීන් උදෙසා පවා යුතුකම් ඉටු කළ යුතුය. බුදුහිමියෝ පවා ඥාති සංග්‍රහය සිදුකළහ. පංච බලිදේශනා කළේද එහෙයිනි උදා :- ඥාති බලි
නිවැරැදි ක්‍රියාවන්හි නිරතවීම (අනවජ්ජානි කම්මානි)
තමන් මෙන්ම අන්‍යයන්ට හානි නොපැමිණෙන ක්‍රියාවන්ගෙන් ඉවත්ව යහපත් ක්‍රියාවන්ගෙන් පමණක් යුතු වීම බොහෝ සෙයින් යහපත්ය.
පවෙහි නො ඇලීම සහ පවෙන් වැළැකීම (ආරති විරතිපාපා)
සසර දුක්ගෙනෙන දෙලොව අයහපත පිණිස පවතින නරක ක්‍රියාවන් කිරීම හෝ අනුබලදීම වර්ණනා කිරීම නොකළ යුතුය. එය තමා පසුපස අයහපත පිණිස පැමිණෙයි. පව් සිදුකිරීම මිහිරි දෙයක් වුවත් ප්‍රතිවිපාක මිහිරි සුබ දෙයක් නොවේ.


රහමෙර පානයෙන් ඉවත්වීම (මජ්ජපානාච සඤ්ඤ මෝ) මෙය සුබදෙයක් නොවන අතර බොහෝ සුබ කටයුතු පවා මේ නිසා අසුබ බවට පත්වෙති. මත්වීමට, ප්‍රමාදවීමට, පසුතැවීමට හේතුවන මෙයින් ඉවත්ව තම දිවිගෙන යා හැකි නම් එය උතුම් ලාභයකි.
කුසල් දහම්හි අප්‍රමාදී වීම (අප්පමාදෝච ධම්මේසු)
කළ යුතු යහපත්දේ සිදුකිරීමට අප්‍රමාද වීම යහපත් වන අතර ප්‍රමාදය පසුතැවීමට හේතුවකි. නිවනට අවශ්‍ය සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම අතර සතර සම්‍යක් ප්‍රධන් වීර්යයන් තුළින් පැහැදිලි කරනුයේද මෙම ගුණයයි.
උතුමන්ට ගෞරව කිරීම හා යටහත් පහත් පැවතුම් ඇති බව (ගාරවෝච නිවාතෝච)
ධනය බලය නිසා උදම් නොවීම අනතිමානී ගුණයෙන් යුත් තැනැත්තා ධනය බලය නැති දා පවා එක හා පූජාවට ලක්වේ. මෙය උතුම් ගුණයකි.
සිතේ සතුට හා කළගුණ දන්නා බව (සන්තුට්ඨීච කතඤ්ඤුතා)
පරම ධනය වන චිත්තප්‍රසාදයත් උදවු උපකාර අමතක නොවන බවත් උතුම් ගුණ දෙකකි.
සුදුසුකල දහම් ඇසීම (කාලේන ධම්මසවණං)
යහපත් අවවාද උතුම් උපදේශ සුදුසු කාලයෙහි ලැබීම දියුණුවට හේතුවකි.
ඉවසීම , කීකරුබව, (ඛන්තීච සෝවචස්සතා)
අන්‍ය මතවාදයන්ට ඇහුම්කන්දීමත් ඉවසීම නමැති බෝධිසත්ව ගුණය පුරුදු කිරීම බෞද්ධයා ගේ ස්වභාවයයි. බෝධිසත්ව සහ බුද්ධ චරිතයේ ප්‍රකටම ගුණය ද මෙයයි. ක්ෂාන්ති පාරමිතාවේදී මේ බව වඩාත් පැහැදිලිවේ. දරුවන් දෙමාපියන්ට කීකරු වනවා සේම දෙමාපියන් දරුවන් පිළිබඳ මුදිතා ගුණයෙන් යුක්තවීම අවශ්‍ය අන්‍ය සංස්ථාවන්ද එසේ වන කල එය සමස්ත සමාජයටම සුබඵල ගෙන දෙන්නක් බවට එය පත්වීම ප්‍රත්‍යක්ෂය.
පැවිදි උතුමන් දැකීම (සමණානඤ්ච දස්සනං)
සිල්වත් ගුණවත් ප්‍රත්‍ය පහසුකම් ලැබීමට සුදුසු භික්‍ෂූ ආකල්පයන්ගෙන් හෙබි භික්‍ෂූන් දැකීම යහපත් ය.සමාජයේ හිස භූ ගා ගත් භික්‍ෂූන් දැකීම අසුබ යැයි මතවාදයක් ඇතැමුන් ඇතිකරගෙන ඇත. එයට හේතුව වන්නේ තොටගමුවේ රාහුල හිමියන්ගේ ප්‍රකාශයකි. එනම් දුසිල්වතුන් දැකීම සුබනොවන බවයි. එය සමස්ත භික්‍ෂූන්ට පොදුවූවක් නොවේ.
සුදුසුකල ධර්ම සාකච්ඡා කිරීම (කාලේන ධම්ම සාකච්ඡා) තම ජීවිතයට ධර්මය එක්කර ගැනීමත් වැරැදි නිවැරැදි දේ සොයාබලා නිවැරැදි දේ සිදුකිරීමට කටයුතු කිරීමට, ධර්මය පහුරක් කරගැනීම අඩුපාඩු සකසමින් යහපත්ව ඉදිරියට යාම සඳහා හේතු වේ.
තපස, හා බඹසර විසීම (තපෝච බ්‍රහ්මචරියංච)
ගිහි ජීවිතය තුළ මෙය ප්‍රායෝගික නොවුනද මසකට එක්වරක් හෝ කාමභෝගී දිවියෙන් ඉවත්ව ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගත යුතුය. ඒ සඳහා අටසිල් සමාදන්ව පොහොය දිනය යොමු කළ හැකිය. ඒ තුළ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට හැකියාව ලැබේ. පුද්ගලයෙකුට සාර්ථක දිවියක් වෘත්තියක් පවත්වා ගෙන යාමට නම් චිත්ත සමාධිය අත්‍යවශ්‍යය ඒ සඳහා තපස බඹසර මංගල කාරණාවකි.
ආර්ය සත්‍යයන් දැකීම (අරියසච්චාන දස්සනං)
උතුම් වෙනස් නොවන සත්‍යදැන හැඳිනගෙන මුලාවෙන් අත්මිදි යථාර්ථධර්මයට මුහුණදීම ඉතා යහපත්ය. ලෝකයේ සත්‍ය දෙකක් තුනක් නැත. ඇත්තේ එකකි. එය හදුනාගැනීමට බුද්ධිය අවධි කිරීම මංගලකාරණයකි.
නිවන් අවබෝධ කිරීම (නිබ්බාණසච්ඡිකිරියාච)
ඇත්ත ඇති සැටියෙන් දැකීමට හැකි යථාභූ®ත ඤාණය ලැබ (තෙරක් නොපෙනෙන සසර නැති කිරීම තාවකාලික සුබදේට වඩා යහපත්ය.
අටලෝ දහමින් කම්පා නොවීම (ඵුට්ඨස්සලෝක ධම්මේහි (චිත්තං යස්ස න කම්පති)
සියල්ල සම සිතින් සම මෙතින් විඳ දරා ගැනීමට පුරුදු වී ලාභ,අලාභ, යස,අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන සෑම අවස්ථාවේදීම අධිකව සතුටට මෙන්ම දුකට පත්වීමෙන් තොරව සිටීමට පුළුවන්නම් එය උසස්ය. ලාභයෙන් අධිකව උද්දාමයට පත්වී අලාභයෙන් වික්ෂෝපයට පත්වී හැඩූ කදුළින් විසීම සුබ නොවේ.
ශෝක නොකරන කෙලෙස් රහිත නිර්මල සිතක් ඇති බව (අසෝකං විරජං ඛේමං)
සිත ලෙඩ කරන අයහපත් සිතිවිලි වලින් ඉවත්ව සුපිරි සුදු සිතුවිලි වලින් යුතුව දවස ආරම්භ කිරීම මෙන්ම අවසන් කිරීම යහපත් ය. නොකළ දේ පිළිබද ශෝක නොකරමින් කළ යුතුදේ සිදු කිරීම වර්තමානය පමණක් නොව අනාගතය පවා සුබවීමට මෙලෙස ක්‍රියාකරමින් සියලු තැන්හි අපරාජිතව කටයුතු කිරීම මංගල කාරණයකි. ඇසට පෙනෙන කනට ඇසෙන හිතෙන දේ සුබ හෝ අසුබ ලෙස සිතීම තම වැඩකටයුතු කල්දැමීම අඥානකමකි. එසේම මිනිස් ශක්තියට නිගාවකි. අර්ථශූන්‍ය මෙන්ම හේතුඵල න්‍යායට පටහැනි කාරණයකි. බදු දහමට අනුව මිනිසාගේ ස්වාමියා මිනිසා මිස වෙනකෙකු නොවේ. එවන් ශක්තිය සතෙකුට හෝ දර්ශනයක වහලෙකු ගැතියෙකු බවට පත්කිරිම උචිත නොවේ.
මහාමංගල සූත්‍රයට අනුව සැබෑ මංගල කාරණා නොදැන ත්‍රිපිටකයෙහි සඳහන් නොවන ඇතැම් ආචාර උපචාරවිධි හා දේශනා බුදුදහම යැයි වරදවා වටහාගැනීම එක පැත්තකින් අකුසලයකි. (විචාරබුද්ධියට හානියකි)
Read More »




ධර්මාශෝක රජතුමා ලක්දිව ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.

ලක්දිව බුදුසසුන පිහිටුවීමේ මාහැඟි අවස්ථාව සමරන මෙවන් සමයක ඒ උතුම් ධර්මදූත සේවාවට හා තෙවැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජතුමා පිළිබඳ වෙසෙසින් අවධානය යොමු වේ. එතුමන්ට ශාසන ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවන අතරම ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට එතුමන්ගේ ගුණ සිහිකිරීම අතිශයින්ම වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.
බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ. වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක.
“ස්වාමීනි අර පෙනෙන්නේ මී පැණි විකුණන තැනයි”යනුවෙන් එම ස්ත්‍රිය අත දිගුකොට පෙන්වූ විට පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේට මී පැණි නොලැබුණොත් තමන් හැඳ සිටි ඇඳුම හෝ විකුණා මී පැණි ලබාදෙමි’යි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියාය.
මී පැණි වෙළෙඳසැල ඉදිරිපිටට පසේ බුදුන් වහන්සේ පැමිණි පසු උන්වහන්සේ ඉදිරියට පැමිණි වෙළෙන්දා පසඟ පිහිටුවා වැඳ පාත්‍රය අතට ගෙන මී පැණි කළයක් පාත්‍රයට වත් කළේය. පාත්‍රය පිරී ඉතිරී මීපැණි පිටතටද ගලා ගියේය. එය දැක වෙළෙන්දා මහත්සේ සතුටුව මී පැණි දුන් පිනෙන් දස දහසක් යොදුන් දඹදිව එක්සේසත් කොට දඹදිවට අගරජ වෙම්වා යි පැතීය.පසේ බුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු එනවිට ඉහතකී ස්ත්‍රිය හමුවිය.
මී පැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේ දැයි ඇසුවාය. ඔහු දඹදිව අග රජකම පැතූ බව ප්‍රකාශ කළ විට “මඳක් වැඩ සිටිය මැනැවයැ” යි පවසා එම ස්ත්‍රිය වහ වහා නිවෙසට ගොස් තමා හැඳ සිටි වස්ත්‍රය සෝදා, වළල්ලක් කොට පාත්‍රය යටට තබා ගන්නැයි පසේ බුදුන් වහන්සේට පූජා කළාය. එසේ පූජා කොට මීපැණි වෙළෙන්දා අග රජවන විට එතුමාගේ අග මෙහෙසිය වෙම්වායි පැතුවාය. වෙළෙන්දා ගේ හා ස්ත්‍රියගේ පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවන බව දැන පසේබුදුන් වහන්සේ ස්ත්‍රිය බලා සිටියදීම අහසට නැඟී ගන්ධ මාදන පර්වතයට වැඩි සේක. එම මී පැණි පාත්‍රයෙන්ම පසේ බුදුන් වහන්සේගේ රෝගය සංසිඳිණි.
ඉන් පසු එක් දිනෙක වෙළෙඳ සහෝදරයෝ තිදෙනා එකතුව වෙළෙඳාමේ අය වැය පරීක්‍ෂාකර බැලූහ.එවිට එක් මී පැණි කළයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසීය. තමා පසේ බුදුන් වහන්සේ නමකට මී පැණි කළය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතහොත් මී පැණි කළය හෝ එහි මිල හෝ දෙමි’යි කීය.
“නුඹගෙන් ණය ගන්නේ කෙසේදැ’යි විමසූ වැඩුමල් සොහොයුරෝ දෙදෙනා එම මුදල් තිබිණි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යැයි පැවසූහ.
“නුඹලා වරදක් නොසිතන්න. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, කාෂාය වස්ත්‍ර දරන පසේ බුදුන්වහන්සේ නමකටයි මී පැණි පූජා කළේ යැ’යි බාල සහෝදරයා කීය.
‘එම්බා මලණ්ඩ, මෙකල සැඩොල් කුලේ අයත් කාෂාය වස්ත්‍ර හැඳ ඇවිදියි. නුඹ දන් දුන්නේද එවැනි සැඬොලෙකුට වෙන්න ඕනෑ යැ’යි වැඩුමල් වෙළෙන්දා පැවසීය.
“තොප මී පැණි දන් දුන් අයගෙ ගුණ අපට කියන්නේ ඇයි? තොපගේ පසේ බුදුන් මූදින් එතෙර දමා පියව‘යි දෙවැනි වෙළෙන්දා කීය.
“මහානුභාව සම්පන්න ඒ පසේ බුදුන් වහන්සේට එසේ නොකියනු මැනැවි. සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි යැ’ යි බාල සහෝදරයා කීය.
‘තොප ඔය හැටි කියන්නේ නම් අපිත් පින් අනුමෝදන් වෙමු යැයි’ සාධුකාරදී පින් අනුමෝදන් වූහ.
මෙසේ පින් සිදුකරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරි සරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබූහ. මී පැණි දන්දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල වෙළෙන්දා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් උපත ලැබීය. මී පැණි වෙළෙඳ සැලට අත දිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධිමිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසොව බවට පත්වූවාය.
පසේ බුදුන් මූදින් එතෙර දමව’ යි කී දෙවැනි වෙළෙන්දා ඒ නිසාම දඹදිව නොඉපිද ලක්දිව දේවානම්පියතිස්ස නමින් උපත ලැබීය. පසේ බුදුන් චණ්ඩාලයකු වේදැ’යි කී වැඩුමල් සහෝදරයා සැඩොල් ගමක නුග ගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදිවී රහත් බව ලැබීය. (ඔහු රජතුමාගේ සුමන නම් සහෝදරයකුගේ පුත්‍රයා වන අතර සැමියා යුද්ධයෙන් පැරැදී මැරී වැටුණු බව අසා දේවිය භයින් තැතිගෙන දුවද්දී මේ නුග ගස යටදී දරු උපත සිදුවූ බව සදහන් වේ) මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළේය. ‘සහස්සවත්ථු’ හා ‘සීහලවත්ථු’ කථාවල දැක්වෙන ආකාරයට ඔහු ලක්දිව උපත ලබා පැවිදිව ‘ඛුජ්ජතිස්ස’ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධව පිරිනිවන් පෑ බව සඳහන් වේ.
Read More »




දුකට මුල වන්නේ පුද්ගලයාගේ පුනර්භවයයි. පුනර්භවය හට ගන්නා තණ්හාව නැති කරන්නට දහමෙන් අපට මඟ පෙන්වා දේ. කුල-මල, වර්ණභේද හෝ උසස්,පහත්, උගත්, නූගත්, දුප්පත්, පොහොසත් ආදි වර්ගීකරණයක් සදහම් අවබෝධය සඳහා නොමැත්තේ ය. එය ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත යුත්තේ ය.

බුදුරජාණන් වහන්සේ නමකගේ ලොව පහළවීම අතිශය දුර්ලභය. බෝසත් උතුමකු ලෙස අප්‍රමාණ භව ගණනාවක් උප්පත්තිය ලැබ එම භවයන්හි ලත් අත්දැකීම් සම්භාරය හේතුකොට ගෙන ලෝක සත්වයාගේ හිත සුව පිණිස පෙරුම්දම් පුරා ලෝක සත්‍යය ගැන යථාර්ථය හෙළිකිරීමට සම්මා සම්බුදුවරයකු ලොව පහළවෙයි.
සත්වයා ඇලී, ගැලී, වෙලී, පැටලී, රැඳී සිටින මේ අනවරාග්‍ර සසරෙන් ගලවා ගනු වස් චතුරාර්ය සත්‍යය දහම තමන්ම අවබෝධ කරගෙන ලෝ සතුනට දෙසා වදාළ නිසා සම්මා සම්බුදු වන්නේය.
තුන්කල්හි පවතින සියලු සම්මුති, පරමාර්ථ ධර්මයන් අතෙහි තිබෙන නෙල්ලි ගෙඩියක් මෙන් දැන ලෝක සත්වයාට දේශනා කළේ මහා කරුණාවෙනි. මේ සම්මා සම්බුද්ධත්වය බුදුගුණාලංකාර කතුවරයා දුටුවේ මේ අයුරිනි.

තුන්කල්හිම                    පැවැති
පදරුත් සියල් ලොව      ඇති
අතැඹුල සේ                      දනිති
එයින් සම්මා සම්බුදුන යෙති

ලෝකයේ පවතින සියල්ල දැන ගැනීම එක භවයක දී පමණක් කළ හැක්කක් නොවේ. එය භව ගණනාවක දී ප්‍රගුණ කළ යුතු කරුණකි. මේ අනවරාග්‍ර සසරේ ගමන් කොට අවසානයේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා බුදුපියාණන් වහන්සේ සර්වඥ වන සේක.
යළි ඉපදීමක් නොවන නිවන අවබෝධ කරන්නට ලෝක සත්වයාට මඟපෙන්වීම බුදුවරයකුගේ කාර්යභාරයයි. ඒ දහම උකහා ගන්නට කිසිවකුට බලකිරීමක් නොමැත. බුදුවරයකුගේ කාර්යභාරය වන්නේ යථාර්ථය හෙළි කිරීමයි. විමුක්තියට මඟ පෙන්වා දීමය. මිනිසත්භවය ලැබගත් අපි ඒ මඟ ගමන් කළ යුත්තෝ වෙමු.
දුකට මුල වන්නේ පුද්ගලයාගේ පුනර්භවයයි. පුනර්භවය හට ගන්නා තණ්හාව නැති කරන්නට දහමෙන් අපට මඟ පෙන්වා දේ. කුල-මල, වර්ණභේද හෝ උසස්,පහත්, උගත්, නූගත්, දුප්පත්, පොහොසත් ආදි වර්ගීකරණයක් සදහම් අවබෝධය සඳහා නොමැත්තේය.එය ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත යුත්තේය.
වසර 80 ක් ජීවත් වී වසර 45 ක් ලෝක සත්වයාගේ හිත සුව පිණිස දෙසූ දහම හේතුකොට ගෙන දෙව් මිනිසුන් සහිත ලෝකයෙහි අනන්ත සංඛ්‍යාවක් සසරෙන් එතෙර වූහ. දිවා, රෑ නොතකා, අව්ව, වැස්ස ගැන නොසිතා යොදුන් ගණන් ගමන්කොට, දුකට පත් සත්වයා එම දුකෙන් මුදවාලීම පිණිස දහම්දෙසූ සේක.
දවසෙන් පැය දෙකක් පමණක් උන්වහන්සේ සැතැපුණ සේක. ඒ පැය දෙකෙනුත් යමක් කරන්නට ඇත්නම් එය බුදුහිමියෝ නොපිරිහෙළා ඉටු කළහ. කිසාගෝතමී, පටාචාරා, අංගුලිමාල, රජ්ජුමාලා, ඛේමා වැනි අයට පිහිට වී ඒ අය දුකෙන් මුදවා ගත්තේ ් මහා කරුණාව නිසාවෙනි.
මළ දරුවා කරතබාගෙන ගිය කිසාගෝතමීට ජීවිතයේ යථාර්ථය හෙළි කළේ බුදුරදුන්ය. මළ දරුවා කර තබාගෙන අවසාන වශයෙන් කිසාගෝතමී ගියේ බුදුරදුන් ළඟටය. මළ දරුවා පණගන්වන්නට යැයි ඇය ඉල්ලා සිටියදී බුදුරදුන් විමසුයේ දරුවාට පණ ලබා දීමට අවැසි නම් නොමළ ගෙයකින් අබ ඇට ස්වල්පයක් රැගෙන එන්නට ඇයට හැකිදැයි කියාය. මළ දරුවා උරයේ හොවාගෙන ගෙයක් ගෙයක් පාසා ගියද කිසිවකු නොමළ ගෙයක් සොයා ගැනීමට කිසාගෝතමීට නොහැකි විය. අවසානයේ ඕජස් වැගිරෙන මළ සිරුර අමුසොහොනක දමා බුදුරදුන් සමීපයට ගොස් කිසිවකු නොමළ ගෙයක් සොයා ගැනීමට බැරි වූ බව දන්වා සිටියාය. මෙසේ ජීවිතය පිළිබඳ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් ලබන්නට කිසාගෝතමිට අවකාශ සලසා දෙන ලදී. යමකු මෙලොවට බිහිවූවා නම් මිය යන බවත්, යමක් ලොවට ඇති වූවා නම් නැසෙන බවත් පහදා දුන් බුදුරජාණන් වහන්සේ කිසාගෝතමියට විමුක්ති මාර්ගය පෙන්වා දුන්සේක. මංමුළාවී ලෝක තත්ත්වය, යථා ස්වභාව නොදැන ජීවත්වන අයගේ ප්‍රමාණය අනන්තය. කිසිදු දහමකින් විස්තර නොකෙරෙනා මේ අනිත්‍යතා ස්වභාව ලොවට පහදා දුන්නේ බුදුරදුන්ය. යායුතු මඟ කුමක් දැයි නොදැන , මංමුළාව මිසදිටු දහම් පසුපස ගිය ජනකායට එම අනර්ථකාරි මඟට යළිත් නැඹුරු නොවන්නැයි දෙසා සම්බුදු මඟට යොමු කරන්නට ගත් වෙහෙස අප්‍රමාණය.
යමක දැඩි ව එල්බගෙන සිටි අයගේ පටු පරමදර්ශ සාධනය මූලෝත්පාඨනය කරන්නට බුදුසමය අතිශයින්ම පිටිබලයක් විය.ජීවිතය හා ලෝකය නොදැන ගිය ගමනේ දී ඒ අයට නිසි මඟපෙන්වා දෙන්නට බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් ගත්සේක. එසේම එකිනෙකා අතර පවත්නා මත ගැටුම් නිරාකරණය කරන්නට මහත් වෙහෙසක් ගත්සේක. ශරීරයට දැඩි ලෙස දුක් දීමත්, දැඩිලෙස සැපදීමත් අහිතකර කාරියක් යැයි පෙන්වා දුන් බුදුහිමියෝ මේ දෙඅන්තයට පටහැනි මඟක් හෙළි කළහ. ඒ මැඳුම්පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාවයි. මැදිහත් මාර්ගයෙහි ගොස් දුක නිවීමට උචිත මාර්ගයක් අපට පෙන්වා දුන්හ.
සමාජයට සැනසුම උදාකර දෙන තැන්න නම් පන්සලයි. පන්සලට කිසිදු වර්ගභේදයක් නොමැතිව පැමිණෙන්නේ කිසියම් සහනයක් ලබාගන්නය. පහන් සංවේග දනවා බුදුරදුන් වැඳ බෝධිය වැඳ පුදාගෙන මල් පහන් පුදා ජීවිතය ට කිසියම් සැහැල්ලුවක් සලසා ගන්නටය. එබැවින් අපගේ අධ්‍යාත්මික ප්‍රබෝධයට කේන්ද්‍රස්ථානය පන්සලයි.
විශාල බරක් සිතෙහි දරාගෙන පන්සලට පිවිසෙන සැදැහැවත් ජනයා මොහොතකට හෝ කිසියම් සුවයක් ලබන්නේ පන්සල මුල්කොටගෙනය. සමස්ත සමාජය ඒකරාශි කරන තැන පන්සලයි. පන්සල පහන් සිතුවිලිවලට තෝතැන්නයි.
ජේතවනාරාමය, ඉසිපතනාරාමය ආදි බුදුරදුන් වැඩ විසු ආරාමවලදී අතිමහත් ජනකාය ඒ වෙතට නැඹූරුවුයේද බුදුබණ අසා ජීවිතයට පහන් සිතුවිලි ඇතුළත් කොට ගෙන භවය කෙටිකර ගන්නටය.
බුදුසමය සෙසු ආගම් චින්තන දර්ශන අභිබවා යන්නේ හේතු-ඵල දහමක් ඉදිරිපත් කරන හෙයිනි. වෙනත් ආගම්වල හේතු-ඵල දහමක් නොමැත. හේතුවක් ඇත්නම් ඵලයක් ඇත. ඵලයක් ඇත්නම් හේතුවක් ඇත. මේ හේතු-ඵල දහම වෙනත් ආගම්වල, දර්ශනවල දක්නට නොමැති අතර ඒවායේ ඇත්තේ ඵලයක් පමණි. නැත්නම් හේතුවක් පමණි.
පුද්ගලයකු ධනවත් වන්නටත් බුද්ධිමතකු වන්නත් කිසියම් හේතුවක් තිබිය යුතුය. ඒබව හේතු-ඵලදහම අනුව විස්තර කෙරේ. යම් පුද්ගලයකු මහ පාරේ පදික වේදිකාවක නිදා ගන්නටත්,තවත් අයකු සුවිසල් මහාමන්දිරයක සුඛෝපභෝගී නිදි යහනක මදුරුදැල් දමා විදුලිපංකාවල සුවපහසු සිසිලස විඳීමින් සුවබර නින්දක් ලබන්නටත් කිසියම් හේතුවක් තිබිය යුතුය.හේතු-ඵල දහම මේ බවබුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
මේ භව ගමනේදී යහපත් අයුරින් ජීවත් වූවා නම් එහි ප්‍රතිඵලය වනුයේ ලැබු භවය යහපත් මාර්ගයට පිවිසීමයි. බුද්ධිය, ධනය සහිතව සුවිසල් මන්දිරවල ජීවත්වීමට අවකාශ ලැබීම සසර යහපත් පැවැත්මෙහි ඵලයකි. ඵලය හා හේතුව අතර පවත්නා සහ සම්බන්ධය අප මැනැවින් දැන දිවිගෙවන්නට යත්න දැරුවොත් ජීවිතය ජය ගත්තා වේ.
ජීවිතය ලබා නිසි පරිදි කළමනාකරණය කර නොගෙන පරාජයට පත් වෙනවා ද? එසේ නැත්නම් ජීවිතය ජයග්‍රහණය කරාගෙන යනවාද? මෙවන් තීරණයකට එළැඹිය යුත්තේ ඔබමය. ඔබ වෙනුවෙන් වෙනත් අයට නිවන් ලැබිය නොහැකිය. එමෙන්ම වෙනත් අය වෙනුවෙන් ඔබට නිවන් ලබන්නත් බැරිය. ඔබට නිවන් මාර්ගයට පිවිසෙන්නට අවශ්‍ය නම් එය ඔබම කළ යුතු කාරියක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
අවිඥානික අයුරින් බුදුසමය අවබෝධකොට නොහැකිය. සවිඥානිකව පුළුල්වූ දෘෂ්ටියක පිහිටා බුදුසමය අවබෝධ කොට ගත හොත් සසර කෙටි වීම ඒකාන්තය. ශාන්ත වු ප්‍රණීත වූ නිවන අවබෝධ කරගැනීම නිසැකය.
Read More »


නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සුඛො බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛො

කාරුණික පින්වත්නි,
අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත්, ඔබ හැමෝම දන්නා හඳුනන ධම්මපදය නම් ධර්ම පුස්තකයේයි. එහි බුද්ධ වග්ගයේ ඇතුළත් අටවැනි ගාථා රත්නයයි මේ.
මේ ගාථාවෙහි අර්ථය විවරණය කර දීමට පෙර ඔබ සැමට දහම් අවවාදයක් දීමට කැමැතියි.
කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවරො

පින්වත් ඔබ කයෙන් සංවරවීම හොඳයි. “කායෙන සංවරො සාධු” මැනැවින් හිඳගෙන සංවරව මෙම දහම් කරුණු කියවන්න. එසේම “සාධු වාචාය සංවරො” කී පරිදි කතාබහ නොකර කට සංවර කරගන්නත් ඕනෑ. මනැස, සිත,නැත්නම් විඥානය සංවර කරගැනීම, සන්සුන් කරගැනීම “ මනසා සංවරො සාධු” ලෙසින් දැක්විය හැකියි. එනිසා පින්වත්නි,කයත්, වචනයත් සිතත් සංවර කරගෙන, දැන් අප මුලින් සඳහන් කළ ධර්ම මාතෘකාව වෙත අවධානය යොමු කර ගත යුතු වෙනවා.
එම ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමය විහාරස්ථානයේදියි. පන්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේ මුල් කරගෙනයි.
එදා සැවැත්නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස්වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ “ඇවැත්නි,මේ ලෝකයෙහි සැප කුමක්දැ”යි ඔවුනොවුන් සාකච්ඡා කළා.ඇතැමකු කීවේ රජ සැපත තරම් සැපතක් ලොව තවත් නැති බවයි. සමහරකු කම් සැපය තරම් තවත් සැපයක් ලොව නැතැයි කීවා. එතැනට බුදුරජාණන්වහන්සේ වැඩම කළා. භික්ෂූන් වහන්සේ සමඟ කථාකොට, “මහණෙනි,මේ ලෝකයෙහි උතුම්ම සැපය නම් වෙනකක් නොවෙයි. බුදුවරයකුගේ පහළවීම සැපයක්, සදහම් දෙසීම සැපයක්, සංඝ සාමගී‍්‍රය සැපයක්, සමඟි වූවන්ට තපස සැපයක් යැ”යි දේශනා කළා.
මෙම පාලි ගාථාවේ පදගත අර්ථය දෙස සිත යොමුකරන්න. බුද්ධානං - බුදුවරුන්ගේ, උප්පාදෝ- ඉපදීම, සුඛො - සැපයි, සද්ධම්ම දේසනා - දහම් දෙසීම, සුඛා - සැපයි, සංඝස්ස - සංඝයාගේ , සාමග්ගි – සමඟි බව, සුඛා - සැපයි, සමග්ගානං – සමඟි වූවන්ගේ, තපො - තපස, සුඛා - සැපයි.
සත්වයන්ට ලොවී ලොව්තුරා සැප ගෙන දෙන බැවින් බුදුවරුන්ගේ පහළවීම සැපයක්. “සුඛො බුද්ධානං උප්පාදො” ධර්මය දුකින් මිදීමට හේතුවන බැවින් සදහම් දෙසීම සැපයක්. “සුඛා සද්ධම්ම දේසනා” සංඝයාගේ සමඟිය ද සැපයෙක්. “සුඛා සංඝස්ස සාමග්ගි” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක්. “සමග්ගානං තපො සුඛො” එම ගාථා ධර්මයේ සරල තේරුම එසේ පෙන්වාදිය හැකියි.
දැන් අපි “සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දැක්වූ පරිදි බුදුවරුන්ගේ පහළවීම සැපයක් වන්නේ කෙසේද යන්න විමසා බලමු. දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කළ හැකි ජීවිතයක් ගොඩනඟා ගැනීම අසීරුයි. කාලාන්තරයක් එයට පිළිවෙතින් පෙළ ගැසිය යුතුයි. දානයෙන්, ශීලයෙන්, නෛෂ්ක්‍රම්‍යයෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, ක්ෂාන්තියෙන්, සත්‍යයෙන්, අධිෂ්ඨානයෙන්, මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් තම ජීවිතය පිරිපුන් කරගත යුතුයි. එම පිරිපුන් ජීවිත ඇත්නම් ඒ ඇත්තේ බෝසතුන්ටයි. පසුව මේ උත්තමයන් බුදුබවට පත්වනවා. උන්වහන්සේගේ උපත සැපතක්. ඒ බුදුවරයකුගේ පහළවීම නිසා දෙවියන් සහිත සත්ව ලෝකයා සසර දුකින් සැබැවින්ම අත්මිදෙන බැවින්. නිවන ලබා ගන්නට සසරින් මිදෙන එකම මග වූ අරිඅටඟි මඟ එළි පෙහෙළි කරන්නේ අන් කිසිවකු නොව සම්මා සම්බුදුවරයෙකුමයි. එනිසා උන්වහන්සේගේ උපත සැපයක්.එහෙත් එය අතිශයින්ම දුර්ලභ වූවක් බව කිව යුතුමයි. ‘ඉමස්ස ඛො භික්ඛවෙ එක පුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං’ යන පාලි පාඨයෙන් මැනැවින් ඒ බව පැහැදිලි වනවා.
“සුඛා සද්ධම්මදේසනා” එනම් සදහම් දෙසීම සැපයක් වන්නේ කෙසේද? ධර්ම ශ්‍රවණයට පැමිණ සසර කෙටි කර ගන්නා සත්වයන් එමටයි. ජාති, ජරා මරණාදියෙන් මිදෙන්නන් එමටයි. එනිසා ධර්ම දේශනය, සැපයට හේතුවක් බව පැහැදිලියි. “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියෝසානකල්‍යාණං” ආදියෙහි දැක්වෙන පරිදි සීලය පැවසෙන ධර්ම දේශනය ආදි කල්‍යාණ වනවා. මධ්‍යයෙහි නිවන් මාර්ගය පැවැසෙන ධර්ම දේශනය, මධ්‍යකල්‍යාණ නම් වනවා. අවසානයෙහි නිවන පැවැසෙන දම්දෙසුම් පරියොසාන කල්‍යාණ නම් වනවා. ඒ ධර්ම දේශනය ලෝක සත්වයාට සැබැවින්ම සැපයක් උදා කරනවා.
“සුඛා සංඝස්ස සාමග්ගි” සංඝයාගේ සමඟිය ද සැපයක්. සංඝරත්නයේ සමඟි බව, එක් සිත් බව, දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කිරීමට මහෝපකාරි වනවා. ඒනිසා සංඝයාගේ සමගිය සැපයක් යැයි වදාළා. මහා සංඝරත්නය යනු සසුන් පිළිවෙතෙහි යෙදෙමින් කෙලෙස් නැසීමට උත්සාහ දරන, ප්‍රතිපත්ති පුරන පිරිසයි. සාමග්ගි නම් උතුම් සංඝරත්නයේ එක්වීමයි. සමඟිසම්පන්න බවයි. එසේ සමඟි වූවන් මැනැවින් දහම් හි පිහිටනවා. දහම්හි පිහිටි පුද්ගලයා විමුක්ති ලාභයෙන් සැනසෙනවා.
“සාමග්ගානං තපො සුඛො” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක් වනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ සමඟි බව ධර්මය ඉගෙනීමට ධූතාංග පරිපුර්ණයට,මහණ දම් පුරන්නට හේතු භූ®ත වන බැවින් සමඟි වූවන්ට තපස සැපයක් යැයි දේශනා කොට තිබෙනවා.
එදා සැවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස් වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ යථොක්ත ධර්ම දේශනාව අවසානයේ සියලු කෙලෙස් නසා පරම රමණීය වූ උතුම් නිර්වාණාවබෝධය ලබා ගත්තා. එපමණක් නොවෙයි එම අවස්ථාවට පැමිණි මහ ජනයාට ද එම දේශනාව අසා සෝවාන් ආදි මාර්ග ඵල පිළිවෙළින් නිවන ලබා ගැනීමට හැකි වූ බව සඳහන් වනවා.
මේ උතුම් සදහම් කාරණා කියවීමෙන්, ඔබ සැමටත් ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා’යි ප්‍රාර්ථනා කරගන්න.
Read More »




යමෙක්ට පුණ්‍ය වේගය නිසා ඉහළින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කර ,යළිත් සුගතියට ඒමට වුව ද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් යා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ,ආශ්චර්යමත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරයේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. තමා, තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක්, ගොඩබිමක් සොයා ගත යුතු වේ. දීප යන්නෙහි අර්ථ දෙකකි.සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය යි.සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය යි. ඒ නිසා අප අපට ම පහනක් ආලෝකයක් විය යුතු ය.

මෙම ලිපියේ දෙවනකොටස ජනවාරි 05 වැනිදා පත්‍රයේ ‘දැකිය යුතු දිවි මඟ’ යනුවෙන් පළ විය. අද පළවන්නේ එහි අවසාන කොටසයි.
“උක්ඛිත්වා පුඤ්ඤවෙගෙන
රූපාරූප ගතිං ගතා
භවග්ගතම්පි සම්පත්තා
පුනාගච්ඡන්ති දුග්ගතිං”

යමෙක්ට පුණ්‍ය වේගය නිසා ඉහළින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කර ,යළිත් සුගතියට ඒමට වුව ද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් යා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ,ආශ්චර්යමත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරයේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. එම කුලක බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන් ආදී විය හැකි ය. ඉන් මිදිය හැක්කේ සසර දුක් අවසන් කිරීමෙන් පමණි. ඒ හෙයින් සම්‍යක්සම්බුද්ධ සර්වඥයන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ සසර ඉන්නා සෑම කෙනෙක් ම දුකට හිමිකම් කියන බවයි. බෞද්ධයන් ලෙස අප මේ දුක් නැති කරන ප්‍රතිපදා මඟට පැමිණිය යුතු ය.
“අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනා ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයෙ”

මේ පාඨය බෞද්ධයාගේ ආදර්ශ පාඨය වීමට තරම් අගනා ප්‍රකාශයෙකි.
අත්තනාව කතං පාපං - තමන් කරන වැරැදි
අත්තනා සංකිලිස්සති – තමාව කෙලෙසයි
අනුන් කරන වැරදිවලට තව කෙනෙක් වග නොකියනු ඇත.
අත්තනා අකතං පාපං
අත්තනා ව විසුජ්ඣති

තමා නොකළ පව් තමාව පිරිසුදු කරයි. තමා හොඳ දෙයක් කළ කල්හි තමා පිරිසුදු වේ.
සුද්ධි අසුද්ධි පච්චත්තං - පිරිසුදු බව, අපිරිසුදු බව අයත් වන්නේ තමන්ට ම ය.
නාඤ්ඤමඤ්ඤං විසොධයෙ – කාටවත් කාවවත් පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට හෝ හැකියාවක් නැත. ඒ හෙයින් ස්වතන්ත්‍රව තමන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගන්නා වැඩපිළිවෙළක් බෞද්ධයාට ඇත.
අත්තදීපා විහරථ භික්ඛවෙ අන්තසරණා නාඤ්ඤසරණා
තමා, තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක්, ගොඩබිමක් සොයා ගත යුතු වේ. දීප යන්නෙහි අර්ථ දෙකකි.
සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය යි.
සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය යි.
ඒ නිසා අප අපට ම පහනක් ආලෝකයක් විය යුතු ය.
වක්කලී හිමියන්ගේ කථා වස්තුව ඔබ හැම දනී. අලංකාර රූපශි‍්‍රයක් හිමිව තිබූ බුදුරදුන් දෙස බලා සිටීම වක්කලී හිමියන්ගේ පුරුද්දක් විය. ඒ දුටු ශාන්ති නායකයාණන් වහන්සේ වක්කලී හිමියන්ට මෙසේ පැවසූ සේක.
“අපගමෙහි වක්කලි” – වක්කලී ඉවත් වෙලා යන්න.
කිං තෙඉමාය පූතිකායෙන දිට්ඨෙන
ඔබට මාගේ මේ කුණුවන ශරීරය දෙස බලා හිඳීමෙන් ඇති ඵලය කුමක්ද? පර්වත වනදුර්ග ඇත. එහි ගොස් බණ භාවනා කරන්න. ඒ තුළින් මා දකින්න යනුවෙන් ප්‍රකාශ කළ සේක.
“යො ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති”
ධර්මය දකින්නා මා දකී. බුදුරදුන් දේශනා කර ඇත්තේ ධර්මය තුළින් උන්වහන්සේ දකින ලෙසයි.
බුද්ධ පරිනිර්වාණය පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙසේ විස්තර කෙරේ. තුන්ලෝකාග්‍ර වූ බුදුරදුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇතිකර ගනිමින් ද පෘතග්ජන භික්‍ෂූන් වහන්සේලා වැළපෙමින් ද බුදුරදුන් සමීපයෙහි සිටියහ. ආනන්ද හිමියෝ මහා දුකකින් කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනෙහි එක් කෙලවරක පිහිටි ගෘහයක් වෙත ගොස් එහි අගුලේ එල්ලි එල්ලී ඇඬූ බව එහි සඳහන් වේ. එහෙත් ධම්මාරාම නම් හිමි නමක් වෘක්‍ෂ මූලික වී භාවනා කරමින් සිටියහ. මිනිස් සමාජය තුළ සිදුවන ඉතා සරල සිදුවීමක් එදා ද සිදු විය. එනම් පෘතග්ජන භික්‍ෂූන් වහන්සේ පිරිසක් බුදුරදුන් වෙත ගොස් කේලාම් කීමය. “ස්වාමීනි, ඔබ වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න හෙයින් රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවා ගනිමින් ද, පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා හඬා වැළපෙමින් ද සිටින මුත් ධම්මාරාම හිමි ගසක් මුලට වී භාවනා කරන්නේ යැයි කේලාම් කීහ. එබස් අසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ “මට නිසි උපස්ථානය කරනුයේ ධම්මාරාම භික්‍ෂුවයි” යනුවෙනි.
බෞද්ධයන් ලෙස අප හොඳ ඇතුළාන්තයක් සකස් කරගෙන බුදු දහමට ඇති අභ්‍යන්තර, බාහිර බලවේග පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකර ගනිමින් ජාතියට දේශයට එරෙහිව ඇති විවිධ බලවේග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු වේ. නිවැරැදිව ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ධර්මය ජීවිතයට අනුගත කර ගැනීම මැනවි.
Read More »




අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්‍රමුඛස්ථානයක් ගන්නවා.
අප අනුකම්පාවෙන් යමෙකුට යමක් දීම බොහෝම හොඳයි. මනුස්ස ලෝකය තුළ උපන් අප කවුරුත් එය එසේ කළ යුතුයි. ඒත් ඔබ යමක් දෙන්නේ මතු ආනිශංසයක් විපාකයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් නම් ඒ විපාකය බලාපොරොත්තුවන ඔබ ඒ පරිත්‍යාගය කළයුතු වෙනවා. ඔබ සිතන්න දුකකට ව්‍යසනයකට පත් වූ සරණ වූ යමෙකු හෝ යම් පිරිසක් උදෙසා ඔබ යමක් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් පරිත්‍යාගය කරන්නට ගිය අවස්ථාවක් ගැන. ඔබ බොහෝ කරුණා මෛත්‍රිය මුල් කරගෙනයි සියල්ල පිළියෙල කරගෙන ගියේ. නමුත් ඔබ ඒ රැගෙන ගිය දේ සමසේ බෙදා දීමකදී එය අමාරු කාර්යයක් වෙන්නට ඇති. එකක් දෙනකොට දෙකක් ගන්නට උත්සාහ කරන්න ඇති. දෙනකම් බලා නො සිටි අනෙකා පෙරළාගෙන ඇවිදින් තමන්ගේ කොටස උදුරා ගන්න මහන්සි ගන්න ඇති. ඔවුන්ගේ අසංවර ක්‍රියාවන් තුළ ඔබේ සිතට කුමක් ද වූයේ? ඔබ නො දැනුවත්ම ඔබේ සිතේ ද්වේෂය උපන්නා නේද? එසේ සිත සැහැසි වීමේ ප්‍රතිඵලය ලෙස ඔබේ වචනය රළු වෙන්න ඇති. ඒ හේතුවෙන් සමහර විට ඔබගේ යම් ක්‍රියාද රළුවිය හැකියි. නමුත් ඔබ හොඳ ප්‍රසන්න සිතකින් යමක් පරිත්‍යාග කිරීමට ගියේ. දෙන මොහොතේ ඔවුන්ගේ අසංවරභාවය මත ඔබේ සිත කය වචනය තිදොරම අසංවර වුණා. රළු බවට පත්වුණා. සමහර විට දීමෙන් අනතුරුවත් නුදුන්නානම් හොඳයි නො ගියානම් හොඳයි කියා හිතෙන තරමට අදහස් පහළ වුණා. අනුකම්පාවෙන් දෙන්න ගිය තැන අප නො දැනුවත්ව ම අපේ සිත දූෂිත වෙලා.
නමුත් අප පූජාමය බුද්ධියෙන් යමක් දෙන්න පුදන්නට අදහස් කරන මොහොතක් කල්පනා කළොත් අප බොහෝ සැදැහැ සිතින් ගෞරවණීය ලෙස සියල්ල, පිළියෙල කරගෙන ඒ පුන්‍ය භූ®මියට යන්නේ. අප ඒ භූමියට ඇතුළු වනවිට ම ඒ භූ®මිය හරිම ශාන්තයි. සුන්දරයි. එහි වාසය කරන අයත් බොහෝම පි‍්‍රයශීලියි. බොහෝම මෛත්‍රිසහගතයි. සංවරයි. තිබුණටත් වඩා අපේ සිත් නිවීමකට සංසිදීමකට පත්වෙනවා. ගෙන ගිය දේ ඒ පිරිසට බෙදා දෙනවිට ඒ සංවර ඉරියව් පැවැත්ම තුළින් අපේ සිත තිබුණටත් වඩා බොහෝ ශාන්ත වෙනවා.
දැන් බලන්න වෙනස. දෙන දේ එක සමාන වෙන්න පුළුවන්. ඒ දෙන තැනට අනුව අපේ සිත කය වචනය වැඩෙන තිදොරට කුමක් ද වෙන්නේ. මේ ස්වභාවය දෙස බලලයි තථාගතයන් වහන්සේ මේ දානයේ ආනිශංසය අඩුවැඩි බව මේ දෙ යාකාරයකින් දේශනා කළේ සිත පවිත්‍ර කරගැනීමයි හැම ක්‍රියාවකම බලාපොරොත්තු වන ප්‍රතිඵලය. එහෙත් යමක් කරන්න ගිහින් තිබුණටත් වඩා සිත දූෂිත වුනානම් ඒ දූෂිත හිතට ලැබෙන ඒ හිතින් කරන කි‍්‍රයාවෙන් ලැබෙන ප්‍රතිඵලය මිහිරි නැහැ. පිරිසුදු සිතින් කරන ක්‍රියාකාරකම් සැප ගෙන දෙනවා.
එනිසා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් යමක් දෙනවාට වඩා පූජා බුද්ධියෙන් පූජා කිරීම සුදුසු බව වදාළා. පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය ගැන සිතා නොවේ දන්දෙන දායකයාට ලැබෙන ප්‍රතිලාභය ගැනයි උන්වහන්සේ වදාළේ.
ඒ වගේම ඔබ ඉතාමත්ම හොඳින් සිත පහදාවාගෙන සිල්වතුන් ගුණවතුන් ලෙස හඳුනාගත් සමහර ආර්යන් වහන්සේලාට දන් පූජා කර ගෙන තිබෙනවා. දෙන්නට පෙරත් දෙන මොහොතත් සිත බොහෝම ප්‍රසන්නව බොහෝම සතුටින් ඒ පින්කම් කළ නමුත් ඔබ එසේ විශ්වාසයක් ඇතිකරගත් පුද්ගලයන් පසු කලෙක ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයට ඒ චරිත ස්වභාවය වෙනස් වෙලා විපරිත වෙලා පැවිදි බවින් වෙන්වෙලා ගිහි වෙලා අකුසලයට බර වෙනවා. එහෙම විශ්වාසයෙන් ආර්යයන් වහන්සේලා ලෙස හඳුනාගත් පිරිස ඒ ස්වභාවයෙන් පිරිහෙන විට ඔබේ සිතට මොකද වුණේ? අප රැවටිලා මූලා වුණා නේද? වැරැදි තැනකට නේද අප දන් දුන්නේ? අපරාදේ අප කළ දේවල් කියා ඔබට සිතේවි. ඒ තුළ ඔබ දැනුවත්ව හෝ නො දැනුවත්වම කර තිබෙන්නේ කළ පින්කම් පිළිබඳව පසුතැවීමයි. අපර චේතනාව කිලුටු වෙලා.
අපේ මිනිස් ස්වභාවයන් තුළ එබඳු පිරිහීම් වනවිට අපේ හිත වෙනස් නො වන ලෙස රැක ගන්නට තරම් අප ශක්තිමත් නැහැ. මිනිස් ස්වභාවය තමයි යහපත දකින තැන පහදිනවා වගේම අයහපත අකුසලය දකින තැන කළකිරෙනවා. මේ බව තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා. උන්වහන්සේට මහා කරුණාවෙන් වගේම මහා ප්‍රඥාවක් තිබුණා. මෙබඳු සිත් පහදවාගෙන දන් දුන්නත් පසු කලක සිදුවන යම් යම් පිරිහිම් තුළ ඔවුන්ගේ සිත අපහදිනවා. එනිසා පුද්ගල චරිත වුවත් පිරිහෙන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා. එනිසා සිත සුරක්ෂිත කරගෙන තමන් කළ දේ කිලුටු කර ගන්නේ නැතුව උතුම් විපාක ලබන්නට පුළුවන් වෙන්නයි චිත්ත පාරිශුද්ධිය ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ.
එනිසා ඔබ දානය පූජා කරන වෙලාවේ මේ ගැන හිතන්න ඔබ අද දවසේ ඉතාමත් පැහැදීම් සහිත ගුණ යහපත්කම් දකින චරිතයක් ඔබ හිතෙන ආකාරයට වඩා සැබෑ චරිතය වෙනස් වෙන්න පුළුවන්. එදාට ඔබේ සිතේ කලකිරීමක් ඇතිවේවි. එවැනි අවස්ථාවක ඔබ දක්ෂවෙන්න ඕන සිත කලකිරවා නො ගෙන සිටීමට.
ඒ සඳහායි තථාගතයන් වහන්සේ සඟසතු දානය බෞද්ධ සමාජයට පනවන්නේ. එවිට කවදාවත් ඔබට අපරචේතනාව කිලුටු කර ගන්නේ නැහැ. දන්පිලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ප්‍රතිග්‍රාවකයන් වහන්සේලා පිළිබඳව ඔබ විමසිලිමත් විය යුතු නැහැ. ඔවුන්ගේ ගුණ අගුණ පිළිබඳව සිතිය යුතු නැහැ. සඟසතු දානයක ආනිශංස ලබන්නට ඒ ගුණ අගුණ අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ වදාළේ මැණික් දන්න පුද්ගලයන් පමණයි මැණික ස්වභාවය හඳුනා ගන්නේ. රත්තරං ගැන දන්න කෙනෙකු රත්තරං ගැන විනිශ්චයක් කරන්න පුළුවන්. ආර්යයන් වහන්සේලා දැන හඳුනා ගන්නෙත් ආර්ය පිළිබඳව ආර්ය ධර්මය පිළිබඳව ආර්ය ප්‍රත්‍යක්ෂය පිළිබඳව වැටහීමක් තිබෙන කෙනෙකු යි. එනිසා ඔබ දන්දෙන වෙලාවට සිතන්න මේ ස්වාමින් වහන්සේ අයිති අෂ්ඨ ආර්යන් වහවන්සේලාට යි. මම මේ දානය පූජා කරන්නේ විශාල ගුණයක් ඇති බොහෝ සිල් ඇති සමාධියක් ඇති ප්‍රඥා ඇති විමුක්ති ඇති, විමුක්ති ඥාණ ධර්මයෙන් යුක්ත වූ ආහුණ්‍යෙය, පාහුණ්‍යෙය ආදී ගුණ සුදුසුකම් ලබමින් ලෝකයට පින් කෙතක් වූ ඒ අෂ්ඨ ආර්ය භාවයෙන් යුතු තථාගතයන් වහන්සේලා ශ්‍රාවක සමූහය වූ ආර්ය උතුමන් උදෙසායි කියා.
ඔබ පූජා කරන කුමන හෝ දෙයක් වෙන්න පුළුවන් සඟ ගුණය සඟ වීර්ය හඳුනාගෙන ඒ අනන්ත ගුණයෙන් පිරි උතුමන් වහන්සේලා සිතින් අරමුණු කරගෙන මේ පූජාව මේ දානය මේ පරිත්‍යාගය මේ නමස්කාරය කරන්නේ කියන අදහසේ පිහිටලා පූජාකර ගන්නට ලැබුණොත් එය ඔබ මහරහතන් වහන්සේට කළ පූජාවමක්ම වෙනවා. එයින් ලැබෙන ආනිශංසය සංඛ්‍යාවක් දැක්විය නොහැකි අප්‍රමාණ ආත්මභාව ගණනක් දෙව් ලොවට ගියත් ආයු, වර්ණ, සැප, බල, අධිපතිභාව කියන පංච සම්පත්තියකින් සෙසු දෙවියන් අභිබවා වැජඹෙන්නටත් මිනිස් ලොව ආවත් මිනිසුන් අතර ආයු, වර්ණ, , සැප, බල, අධිපතිපභාව කියන පංච සම්පත්තියෙන් සෙසු මිනිසුන් අභිබවා බැබලෙන්නට පැවිද්දන් අතරට ගියත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය නිදුකින් ලබන්නට අනුපාදි පරිනිර්වාණය දක්වා මෙවන් පහසුකම් ලබන්නට පුළුවන්.
ඒ වගේම දානය කියන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරන මහ පින්මක්. ඒ කල්‍යාන මිත්‍රත්වයෙනුයි අපේ සසර මඟ කෙටි වෙන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මය ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරය හඳුනාගත් කෙනාටයි ධම්මානුධම්ම පටිපදාව ලැබෙන්නේ. මේ සෝතාපන්න අංග හඳුනා ගැනීමෙනුයි ලෝකෝත්තර මාර්ගයට යමෙකුට පිවිසෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ.
ඒ ලෝකෝත්තර මාර්ග ප්‍රතිපදාවට යොමු කරන්න හේතු වන සෝතාපන්න අංගයන් අතර කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මග සලසා දෙන උතුම් පින්කමක් දානමය පින්කම. එනිසා එබඳු ලෞකික ලෝකෝත්තර සැපයට උපකාරි වෙන මේ මහානීය මහ පින්කම සිදු කර සිත සිතා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අප ආර්යන් වහන්සේ යමෙක් පූජා කළ නිසා ඒකාන්තරයෙන් ඒ දානය ආනිශංස තිබෙනවා. උදාහරණයක් ලෙස, ඔබ යම් ප්‍රතිමාවක් අසල බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරනවා. යම් කාලයක ඒ ප්‍රතිමාව දුර්වර්ණ වෙලා කන් නාසා ආදි අවයව කඩා වැටිලා තැනින් තැන සිදුරු වෙලා බොහෝ දුර්වර්ණ වෙලා කෑලි කැඩිලා බිඳිලා තිබෙනවා දුටුවම අනේ මම මේ වගේ ප්‍රතිමාවකටද වැන්දේ කියා ඔබ සිතෙන්නේ නැහැ. ඇයි එහෙම වුණේ? ඔබ ප්‍රතිමාවට නොවේ වැන්දේ. ප්‍රතිමාව සංකේතයක් කරගෙන තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන වන්දනාමාන නමස්කාර කළේ. ඔබ දන්නවා සංකේතයක් වුවත් වැන්දේ තථාගතයන් වහන්සේට කියා. ඇයි ඒ නුවණ සගසතු දානයකදී ඔබට අහිමි වුණේ. සඟ සතු දානයයේදීත් මේ දානයේ වැඩ ඉන්න ආර්යන් වහන්සේලා වෙන්නත් පුළුවන් නො වෙන්නත් පුළුවන්. ඔබ වැඳ නමක්කාර කරන්නටත් ප්‍රථම ආර්ය උතුමන් වහන්සේලාට මේ වන්දනා, මේ නමස්කාරය මේ දානය පූජා කළේ කියා හිතන්න.
එනිසා ප්‍රතිග්‍රාහක සම්පත්තිය ආර්යභාවනම් ඒ සඳහා යෙදෙන පූජා කරන දේ දැහැමි නම් දායකයා දක්ෂ නම් ගුණවත්නම් සිල්වත්නම් කර්ම කර්මඵල ඇදහීමේ විශ්වාසයෙන් යුක්තනම් ඒ කුසලය ඒකාන්තයෙන් මහත්ඵල මහානිශංස ගෙන දෙනවා.

Read More »


මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ

ශිෂ්‍ය ජීවිතයේ දී ලදදෙයින් සතුටට පත්වීමට පුරුදු පුහුණු විය යුතුය. එය කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත්තේ ‘සන්තුස්සකෝ’ යන පදයෙනි. ශිෂ්‍යයා තමාට ලැබෙන දෙයින් සෑහීමට පත්ව කටයුතු කළ යුතුය. එසේ නැතිව අසීමාන්තිකව ආශා පොදි බැඳගෙන සරල බවින් බහැරවීමට කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකිය.

දරුවෙනි, ඔබ සියලු දෙනාම භාවනා කරනවා යන්න අසා ඇති. භාවනා ක්‍රම දන්නවා ඇති. භාවනා වඩන ආකාරය හා ඊට සූදානම් වන ආකාරයත් ඉගෙන ගෙන ඇති. ඔබ වැඩිපුරම වඩන භාවනාව කුමක්දැයි යමකු විමසූ විට ඒ මෛත්‍රී භාවනාව යැයි ප්‍රකාශ කරන්නට වැඩි දෙනෙකු මැලිවන්නේද නැත. එම භාවනාව පිළිබඳ ඉගැන්වීම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් බව ඔබ ප්‍රකාශ කරනු ඇත. එම සූත්‍රයේ ඉගැන්වෙන කරුණු ද පිළිවෙළ නොඉක්මවා කියන්නට හැකියාව වර්ධනය කරගෙන ඇතුවාටද සැක නැත.
එහෙත් මේ ඉගැන්වීම ඔබේ ශිෂ්‍ය ජීවිතයේ දී මෙන් ම ඉන් මතු සමාජ ජීවිතයේ දීත් කෙසේ නම් භාවිත කළ හැකිද? එසේ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මෙවැනි කරුණු ගැන මොහොතකට සිතුවා ද?
එසේ නම් අපි මේ ගැන විමසා බලමු. භාවනා කරනු පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේ පිරිසක්, වනයේ වෘක්ෂවලට අරක්ගත් වෘක්ෂදේවතාදී වූ අමනුෂ්‍ය පිරිසකගේ බලපෑම් හමුවේ භීතියට පත්ව, භාවනා කර්මස්ථාන වඩනු නොහැකි ව නැවත ගමට පැමිණ බුදුරජාණන් වහන්සේට කරුණු සැළ කළහ. එම අවස්ථාව පාදක කොට ගෙන බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සුත්‍රය දේශනා කොට වදාළ සේක.
මෛත්‍රි වඩන්නා කෙරෙහි සැමගේ සිත් පැහැදේ. ඒ සඳහා ඔහුගේ ඉරියව් පැවැත්වීමේ ස්වභාවත් හේතුවන බව මෙම සූත්‍රයෙන් දේශිත ය. එපමණක් නොව භාවනාව වඩන්නා තුළ පැවැතිය යුතු ගුණාංග පසළොසක් සූත්‍රාරම්භයේ දී ම දේශනා කොට ඇත. මෙම කරුණු පැවිදි දිවියේ උත්තරීතර තත්ත්වයට ළඟාවීම සඳහා දේශිත වුවද ශිෂ්‍ය ජීවිතය සාර්ථක කරගැනීමටත් එමඟින් පසුකාලීන සමාජ ජීවිතය වඩාත් ගෞරවනීය කරගැනීමටත් උපකාර කරගත හැකිය. ඒ ආකාරයෙන් අප වර්ධනය කරගත යුතු, ජීවිතයට චරිතායනය කරගත යුතු කරුණු මොනවාද යන්න විමසා බැලීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
සූත්‍රාගත කරුණු පසළොසෙන් පළමුවැන්න ‘සක්කෝ’ ගුණයයි. එහි අර්ථය යම් ක්‍රියාවක් සිදු කිරීමේදී ශක්තිවන්ත වීමේ, ශක්‍යතාවෙන් යුක්ත වීමේ ලක්ෂණයයි. යම් ක්‍රියාවක් ආරම්භ කිරීමේ ශක්තිය ආරම්භක වීර්යයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා සිය අරමුණ ජය ගැනීම සඳහා කැපවිය යුතුය. ඒ සඳහා ආරම්භක ශක්තිය ඇති කරගත යුතුය. උත්සාහවත්වීමද මේ සමඟ බැඳී පවතී. තම අරමුණ විභාගය ජය ගැනීම නම් ඒ සඳහා පූර්ව සූදානම, ආරම්භක ශක්තිය ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි. එපමණක් නොව කිසියම් ගැටලුවක දී එයට මුහුණදීම පිළිබඳ ඇති ශක්තිය එම ගැටලුව විසඳා ගැනීමට මහෝපකාරි වේ. ඔබට මෙම ලක්ෂණය ඇත්නම් ‘සක්කෝ’ ගුණය ඇතැයි සතුටු විය හැකිය.
ශිෂ්‍ය ජීවිතයේ දී අවංකවීම අත්‍යවශ්‍යය. වචනයේ දෝෂ සතරෙන් වෙන්ව සත්‍ය ම කතා කරන, තමා කළ දේ නොබියව ප්‍රකාශ කරන්නට හැකි අයකු විය යුතුය.ඒ අවංකභාවයයි. සිතුවිලි කපටි නොවිය යුතුය. එවැනි ශිෂ්‍යයාට ගුරු දෙගුරු ප්‍රසාදය නිතැතින්ම හිමිවනු ඇත. මෙම අවංකභාවය කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන්නේ ‘උජු’ යනුවෙනි. ‘උජු’ පමණක් නොව ‘සූජූ’ ද වන්නට ශිෂ්‍යයා සිතට ගත යුතුය. එනම් සුවිශේෂීව අවංක විය යුතුය. එනම් පරමාදර්ශී අවංකභාවයට ළංවීමකි. මෙහි දී ක්‍රියාවෙන් පමණක් නොව චිත්ත පාරිශුද්ධියෙන් ද යුක්තවීම අපේක්ෂිතයි. එය ශිෂ්‍ය සිත නිරවුල්වීමට හේතුවේ.
‘සුවචෝ’ ගුණය ශිෂ්‍ය ජීවිතයට අවශ්‍යම දෙයකි. කීකරු බව ශිෂ්‍ය ජීවිතයේ ප්‍රකට විය යුතුය. යමෙක් කරුණු පැහැදිලි කරන විට, ශිෂ්‍යයා එය දරාගන්නට කටයුතු කරන්නේ ඔහු තුළ ඇති සුවච ගුණය හේතුවෙනි. ශිෂ්‍යයා ගුරු ඇසුරේදී පහසුවෙන් කරුණු ග්‍රහණය කරගැනීමේ ගුණයෙන් යුක්ත විය යුතුය.ඒ සඳහා සුවච ගුණය ඉතා වැදගත් වේ. ‘මුදු’ බව ද ශිෂ්‍ය ජීවිතයක ප්‍රදර්ශනය විය යුතු අවශ්‍ය ම සාධකයෙකි. මෙම මොළොක් ගතිය කරුණු අවබෝධ කර ගැනීමටත්, සමාජයේ සෙසු අයට ප්‍රියශීලි වීමටත් අවශ්‍යම ගතිගුණයකි. එසේම ළමයා ළමයකු මිස වැඩිහිටියකු නොවන බව සිහි තබාගත යුතුය.
’අනතිමානි’ ගුණය ශිෂ්‍ය ජීවිතයේ දී ප්‍රදර්ශනය වීම ඉතා වැදගත් වේ. අනතිමානි නම් ආඩම්බර බවින් මිදුණ, නැතහොත් ආඩම්බරකම බැහැර කළ බවයි. සිසු දරුවන් වූ ඔබ විවිධ අවස්ථාවලදී වත්පොහොසත්කම් ,දැනුම් ප්‍රමාණය සහ රූපශෝභාව වැනි කරුණු නිසා ආඩම්බර වනවා විය හැකිය. එය එතරම් සුදුසු තත්ත්වයක් නොවන බව සිහි තබා ගන්නේ නම් ජීවිතය ජයගන්නට එයම ප්‍රමාණවත් වනු ඇත. මෙහිදී විශේෂයෙන් ම සිහි තබා ගත යුත්තක් ද ඇත. එනම් බොහෝ විට ‘අනතිමානී’ යන වචනය වෙනුවට ‘නිහතමානි’ යන පදය ආදේශකොට අර්ථ දැක්වීමයි. නිහතමානී බව යනුවෙන් දැක්වෙන්නේ බුදු, පසේ බුදු, මහරහත් උතුමන් විෂයෙහි පවතින ශ්‍රේෂ්ඨ ගුණාංගයක් මිස පෘතග්ජන අප වෙත පවතින්නක් නොවේ. එබැවින් අප ‘ආඩම්බර බවෙන් තොර වූ’ යන අර්ථයෙන් පෙන්වාදෙන අනතිමානී ගුණය වඩවා ගැනීමට දැන් දැන්ම උත්සුක විය යුතුය.
ශිෂ්‍ය ජීවිතයේ දී ලදදෙයින් සතුටට පත්වීමට පුරුදු පුහුණු විය යුතුය.එය කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත්තේ ‘සන්තුස්සකෝ’ යන පදයෙනි. ශිෂ්‍යයා තමාට ලැබෙන දෙයින් සෑහීමට පත්ව කටයුතු කළයුතුය. එසේ නැතිව අසීමාන්තිකව ආශා පොදි බැඳගෙන සරල බවින් බැහැරවීමට කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකිය. මෙම සන්තුස්සකෝ ලක්ෂණය වර්ධනය වූවන් තුළ සුභර ගුණයද වර්ධනය වේ. ‘සුභරෝ’ නම් ලෙහෙසියෙන් පෝෂණය කළ හැකි බවයි. ලද දෙයින් සතුටුව පහසු පෝෂණයක් ඇත්තා කොතරම් සැහැල්ලු කෙනෙකු දැයි සිතාගත හැකිය. කය, සිත සැමවිට සැහැල්ලුව පැවැතීම ජීවිතය ජය ගන්නට මහඟු පිටුබලයක් බව අමතක නොකළ යුතුය.
ශිෂ්‍යයා කටයුතු භාර ගැනීමේ දී ඒවා තමාට ප්‍රමාණවත්, තමාට සරිලන, තමාට ඉටුකළහැකි ප්‍රමාණයේ ඒවා විය යුතුය. වැඩ කටයුතු බහුල වුවහොත් එය මානසික ඒකාග්‍රතාවයටද බාධාවක් වේ. එබැවින් කටයුතු බහුල අයකු වීම ශිෂ්‍ය ජීවිතයට ගැළැපෙන්නක් නොවේ. කටයුතු බහුල නොවීම කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ ‘අප්පකිච්ච’ යනුවෙනි. කාර්ය බහුලත්වයෙන් තොර වන විට සරල දිවියක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය වනු ඇත. එම අවස්ථාව ‘සල්ලහුක වුත්ති’ වශයෙන් දැක්වේ. සරල ගති පැවැතුම් අන්‍යයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට බෙහෙවින් උපකාරවත් වේ. එය සිසු දිවියේ වටිනාකම ඉහළ නැංවීමට උපකාරවත් වනු ඇත. අධ්‍යාපනයට යොමු වූ ශිෂ්‍යයා තුළ සන්සුන් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක විය යුතුය.ඇස, කන, නාසය ,දිව, ශරීරය සංවර කර ගන්නට කටයුතු කළ යුතුය. එවිට මනැස නිරවුල් කරගත හැකිවේ. මනැස නිරවුල් නොවේ නම් උගන්නා දෑ ග්‍රහණය කර ගැනීම අපහසු වේ. එබැවින් කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන ‘සන්තින්ද්‍රියෝ’ යන්න ශිෂ්‍ය ජීවිතයට නැතිවම බැරි වූවක් බව වටහා ගත යුතුය.
බුද්ධිමත්ව, සිතා විමසා කටයුතු කරන්නට යොමු වන හැකියාව වර්ධනය කර ගැනීම ශිෂ්‍ය ජිවිතයට ඉතාමත් වටී. එසේ නොමැතිව අරමුණු ඇතිවන වාරයක් පාසා චංචල වුවහොත් තමාට යමක් නිවැරැදිව ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාව මඟහැරී යයි. එබැවින් සූත්‍රාගත ඉගැන්වීම වන ‘නිපකෝ’ ගුණය ශිෂ්‍යයා ඇතිකර ගැනීම සුදුසු වේ.
ළමා සිත මොළොක් ය. දරුවකු සිතන්නේ දළ දඬු අයුරින් නොවේ. මේරූ වැඩිහිටියකු සිතන, කියන, කරන ආකාරයට වඩා මෘදු බවක් ශිෂ්‍යයා තුළ තිබීම අවශ්‍යයි. එය අන්‍යයන්ගේ ළබැඳියාවට හේතු වේ.ගොරෝසු ගති පැවැතුම් අන්‍යයන්ගේ අප්‍රසාදයට හේතුවන අතර සමාජයේ කොන්වීමටද ඉවහල් වනු ඇත. ‘අප්පගබ්බෝ’ ගුණය ඇති කල්හි ගොරෝසු ගති විද්‍යමාන නොවේ.
ශිෂ්‍යයා ඒ ඒ කණ්ඩායම්වල නොඇලිය යුතුය. එසේ ඇලීමෙන් ඔහු පක්ෂග්‍රාහී තත්ත්වට පත්විය හැකිය. පක්ෂග්‍රාහීවීම නිසා දැනුම ව්‍යාප්තවීමක් ද නොවේ. පටු දැනුමක රැඳෙන්නට සිදුවනු ඇත. එසේම කාරණා පවතින ආකාරයෙන්, එනම් යථා ස්වරූපයෙන් වටහා ගැනීමටද එය බාධාවකි. එබැවින් කරණීය මෙත්ත සූත්‍රයේ ඉගැන්වෙන ‘කුලේසු අනනුගිද්ධෝ’ යන පවුල් කෙරෙහි නොඇලීම යනුවෙන් විස්තර කර ඇති ගුණය, පක්ෂග්‍රාහී නොවී ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
ඉතාම වැදගත් කාරණයක් වන්නේ ‘නච ඛුද්දං සමාචරේ කිඤ්චියේන විඤ්ඤුපරේ උපවදෙය්‍යුං’ යන්නයි. එය සරල අර්ථයෙන් දැක්වුවහොත් නුවණැත්තන්ගේ ගර්හාවට ලක්වන කිසිම ආකාරයේ වරදක්, දෝෂයක් නොකරන බවට පත්වීමයි. යහපත් ගුණගරුක ශිෂ්‍යයකු අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය යුතු නැත.එසේ වීම වළක්වා ගැනීමට සිතට ගත යුතුය. තමන්ගේ තත්ත්වය ගැන සිතා, අන්‍යයන්ගේ ප්‍රතිචාරත් ගැන සිතා, තමාගේ් දැහැමි පසුබිම සලකා වැරැද්දෙන් මිදී නිවැරැදිව කටයුතු කරන්නට ශිෂ්‍යයා සිතට ගත යුතුය.
කරණීය මෙත්ත සූත්‍රයේ මෙම කරුණු පසළොස භික්ෂූ දිවියට,යෝගාවචර තත්ත්වයට ගැළැපෙන අයුරු දේශනා කර ඇතත් පොදු විමසීමේ දී පෙන්වා දිය හැක්කේ දැහැමි ගති පැවතුම්වලින් යුත්, මනා පෞරුෂයකින් යුක්ත ආදර්ශවත් ශිෂ්‍යයකු සකස් කරන්නට ද මෙම කරුණු පාදක කරගත හැකි බවය.
සිසු දරුවෙනි, ඔබත් සුපෞරුෂයකින් යුතු දරුවන් වන්නට දිරි වඩන්න. ඔබගේ ජයග්‍රහණය එතැනයි.
Read More »

පදවි - ශ්‍රී පුර රජමහා විහාරාධිපති පදවි - ශ්‍රී පුර ශ්‍රී ධම්මාලෝක විද්‍යායතන පරිවේණාධිපති ශාස්ත්‍රපති , රාජකීය පණ්ඩිත කරම්බන්කුළමේ සිරිධම්ම හිමි 

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

සද්ධා බීජං තපො වුට්ඨි පඤ්ඤ මෙ යුගනඞගලං හිරි ඊසා මනෝ යොත්තං සති මෙ ඵාල පාචනං 

ශ්‍රද්ධාවන්ත කාරුණික සුපින්වතුනි, අද ධර්ම දේශනාවට මාතෘකා කළේ සුත්ත නිපාතයේ උරග වර්ගයට අයත් ගාථා ධර්මයක්. ජීවිතයේ සියලු දුක් නැතිකර ගන්නට පුළුවන් ගොවිතැනක් ගැන විස්තරයක් මෙයින් කියැවෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආර්ය ගොවිතැන හරි හැටියට කර ගතහොත් අපගේ සියලු දුක් නැතිකරගත හැකියි. අනෙක් ගොවිතැන්වලින් ප්‍රයෝජන ලබන්න දින ගණන්, මාස ගණන් ගතවෙන්න ඕනෑ. එහෙත් මේ කියන ගොවිතැන අකාලිකයි. එවෙලේම ප්‍රයෝජන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව සිදු කරන්නේ රජගහනුවර දක්ඛිණගිරි විහාරයේ වැඩවසන සමයේ ඒකනාළ ගම්දනව්වේ කසීභාරද්වාජ බමුණා අරභයායි. පින්වතුනි, කසීභාරද්වාජ බ්‍රාහ්මණයාට මවුපියන් තැබූ නම වූයේ ‘භාරද්වාජ’ යන ගෝත්‍ර නාමයයි. ‘කසී’ යන වචනය ඔහුගේ නමට එකතු වුණේ ගොවිතැන් කරන, කරවන නිසායි. කලින් භාරද්වාජ යන නමින් සිටි බමුණා ඉන් පසුව කසීභාරද්වාජ කියා ප්‍රසිද්ධ වුණා. දිනක් කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පන්සියයක් නඟුල් හා තුන්දහසක් ගොනුන් ද රැගෙන පන්සියයක් ගොවින් සහ තවත් යහළු මිත්‍ර බ්‍රාහ්මණයන් ද සමඟ හී හාන්නට වෙළට බැස්සා. බ්‍රාහ්මණයා මේ වී වැපිරීමේ උත්සවය මඟුල් කෑමක් වගේ ඉතා අලංකාරවත්ව සිදු කරනවා. සියලුම ගොනුන්ගේ අංවල රත්රන් කොපු දමා කුරවලට රිදී කොපු දමා රන් රිදී මාලවලිනුත් මල් මාලවලිනුත් ඒ ගවයන් සරසා තිබුණා. සියලුම ගොවීන් සුදුරෙදි ඇඳගෙන රන් රිදී ආභරණවලින් සැරැසී සිටියා. බ්‍රාහ්මණයා දැලි රැවුල් කපා සුවඳ පැන් නාගෙන සුවඳ විලවුන් ඇඟේ තවරාගෙන මසුරන් පන්සියයක් වටිනා වස්ත්‍රයක් හැඳගෙන මසුරන් දහසක් පමණ වටිනා වස්ත්‍රයක් ඒකාංශකොට පොරවාගෙන රන් මුදු විස්සක් පමණ ඇඟිලිවල දමාගෙන කනකර ආභරණවලින් සැරැසී ගොවිපොළද ධජපතාකවලින් අලංකාර කොට වප් මඟුල ආරම්භ කළා. බමුණාගේ භාර්යාවත් නොයෙක් අයුරින් වටිනා වස්ත්‍රාභරණයෙන් සැරැසී සුවඳ සහලින් කිරිබත් පිසගෙන ගිතෙල් මී, සකුරු ආදියත් රැගෙන වැඩකරන පිරිසට කෑම පිළියෙළ කරගෙන පිරිවරත් සමඟ කුඹුරට පැමිණියා. මුලින්ම බ්‍රාහ්මණයා රන් තැටියකට කිරිබත් ආදී සෑම ආහාරයක්ම බෙදවාගෙන දෙවියන් වෙනුවෙන් පූජාවක් පැවැත්වූවා. පසුව බැමිණිය රන් රිදී තැටිවලට ආහාර බෙදවා වැඩකරන උදවියට කෑම දෙන්නට පටන් ගත්තා. බ්‍රාහ්මණයා පූජාව පවත්වා පැමිණ අන්‍යයන්ට ආහාර බෙදීම සංවිධානය කරමින් සිටින විට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස එම ස්ථානයට වැඩම කළා. බුද්ධ අසිරිය දුටු සියලු දෙනා ආහාර ගැනීම නවතා බුදුරදුන් පිරිවරා ගත්තා. ඒ දුටු කසීභාරද්වාජ බමුණාට මෙබඳු අදහසක් ඇති වුණා. ‘මේ ශ්‍රමණයන් මෙතැන සිටියහොත් මගේ වැඩේ මේ මිනිසුන් ලවා කරවා ගන්න ලැබෙන්නේ නැහැ. මෙතරම් උස මහත තේජස් සහිත ශරීරයක් තිබියදී ගොවිතැන් කරගෙන අප වගේ කන්නට බැරිද?’ ඒ නිසා බ්‍රාහ්මණයාට වූවමනා කළා බුදුරජාණන් වහන්සේ එතැනින් ඉක්මනට යවා ගන්නට. ‘ශ්‍රමණයෙනි, මම කන්නේ හාලත් වපුරලත් තමයි. ඔබත් ඔය තරම් හැඩි දැඩි ශරීරයක් තබාගෙන අලසකමෙන් නිකම්ම නොඉඳ සීසා වපුරා අනුභව කරන්න.’ බමුණා මේ විධියට කිව්වේ බුදු හාමුදුරුවෝ ලජ්ජා ඇතිවී එතැනින් ඉක්මනට වඩීවි යන අදහසින්. නමුත් උන්වහන්සේ එතැනින් වැඩියේ නැහැ. බුදුරජාණන් වහන්සේ බමුණාට මෙබඳු උත්තරයක් දී වදාළා. “බ්‍රාහ්මණය, මමත් හානවා, වපුරනවා, හාලත් වපුරලත් තමයි මාත් අනුභව කරන්නේ.” බ්‍රාහ්මණයා පුදුම වී මෙසේ කල්පනා කරනවා. ‘මේ ගෞතමයන්ට යුග නඟුල් , හරකා බාන ආදී හී හාන්නට වුවමනා කරන උපකරණ කිසි දෙයක් තිබෙන බව පෙනෙන්න නැහැ. නමුත් මේ විධියට කියන්නේ යම්කිසි හරයක් තිබෙන නිසා තමයි. බ්‍රාහ්මණයා එසේ සිතුවේ ඔහු ඥානවන්තයෙක් නිසයි. ඒ නිසා බුදු හාමුදුරුවන්ගේ කතාවේ ගැඹුරු තේරුමක් ඇති බව කල්පනාකර මෙන්න මේ ගාථාව කියනවා. කස්සකො පටිජානාසි න ච පස්සාම තේ කසිං කසිං තෝ පුච්ඡිතෝ බ්‍රෘහි යථා ජානේම තේ කසිං ‘ගොවියෙක් කියා කීවත් ගොවිකමක් නම් පෙනෙන්නට නැත. ඒ නිසා අපේ දැනගැනීමට ඔබේ ගොවිතැන කියාදෙන්න’. යන තේරුම ඒ ගාථාවේ තිබෙනවා. ස්වභාවයෙන්ම බමුණන් මාන්නක්කාරයි. විශේෂයෙන්ම මේ බමුණා පොහොසතෙක් නිසාත් අනෙක් බමුණන්ට වඩා මාන්නක්කාරයෙක්. එසේම මේ බමුණා නුවණක්කාරයෙක් වුවත්, ශ්‍රද්ධාවන්තයෙක් නොවේ. කොයිතරම් නුවණ තිබුණත් ශ්‍රද්ධාව නැති උදවියට බුද්ධධර්මයෙන් ප්‍රයෝජන ගන්නට අමාරුයි. මේ සර්වඥ ශාසනයට ඇතුළුවන්නට තිබෙන ප්‍රධාන දොරටුව ශ්‍රද්ධාවයි. ඒ වගේම තම තමන්ගේ චිත්ත සන්තාන නමැති කුඹුර වපුරන්නට තිබෙන බිජුවටත් මේ ශ්‍රද්ධාව තමයි. ඒ නිසා අමාමෑණියන් වූ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රද්ධාව නමැති බිජුවට මුලින්ම බමුණාට පෙන්වා වදාළා. ශ්‍රද්ධාව පමණක් නොව ආර්ය ගොවිතැනෙහි යෙදෙන සෑම උපකරණයක්ම පෙන්වා වදාළා. තව විධියකින් කියනවා නම් ගොවිතැන කියා දෙන්න යැයි බ්‍රාහ්මණයා කළ ආරාධනාවේ හැටියට උන්වහන්සේගේ ගොවිතැන විස්තර කොට වදාළා. ‘සද්ධා බීජං තපෝ වුට්ඨී පඤ්ඤ මේ යුගනංගලං’ බුදුරජාණන් වහන්සේගේ ගොවිතැනට ඕනෑ කරන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. ඒවා නම් ශ්‍රද්ධාව, තපස් ගුණය හා ප්‍රඥාවයි. මෙයින් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව බිජුවට හැටියටත්, තපස් ගුණය වර්ෂා ජලය හැටියටත් , ප්‍රඥාව විය නඟුල් හැටියටත් පෙන්වා වදාළා. මේ පින්වතුන් දන්නවා බිත්තර වී වපුරන්නේ මහ පොළොවේ තිබෙන කුඹුරුවල බව, එහෙත් මේ කියන ගොවිතැන කරන්නේ මනුෂ්‍ය චිත්ත සන්තානවලයි. සිත නමැති කුඹුරෙ කරන ගොවිතැනට වුවමනා කරන ප්‍රධාන ධාන්‍ය වර්ගය නම් ශ්‍රද්ධාවයි. නැතිනම් ශ්‍රද්ධාව නමැති බිජුවටයි. සිත නමැති පොළොවේ පිහිටන ශ්‍රද්ධාව නිසා ශීලය නමැති මුලත් සමථ විදර්ශනා නමැති පැළත් ඇති වෙනවා. ‘සීලේ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤංච භාවයං’ ඥානවන්තයා ශීලයෙහි පිහිටා හිතත් නුවණත් දියුණු කර ගන්නවා. ශ්‍රද්ධාව නමැති බීජය සිත නමැති පොළොවේ පිහිටියොත් සමථ විදර්ශනා නම් ඵලය ඇති වී ආර්ය මාර්ග නම් දණ්ඩේ සෝවාන් නමැති ඵල හටගන්නවා. බීජයෙන් අස්වැන්න ලැබෙන්නා වාගේ ශ්‍රද්ධාවෙන් නිවන් ඵල ලබා ගන්නට පුළුවන් නිසා ශ්‍රද්ධාව බීජයකට උපමා කළ බව වටහාගත හැකියි. මීළඟට ‘තපෝ වුට්ඨි’ යන වචනය විමසා බලමු. තපෝ යනු කෙලෙස් නිවන,අඩුකරන, කෙලෙස් නැති කරන උසස් ප්‍රතිපදාවයි. ශ්‍රද්ධා බීජ රෝපණය වීමට තපස් ගුණය නමැති වර්ෂාව තිබෙන්නට ඕනෑ. ‘පඤ්ඤ මේ යුග නංගලං’ මගේ විය දණ්ඩත් නඟුලත් ප්‍රඥාවයි. නඟුලක් කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. එනම්, විය දණ්ඩ නඟුලිය නගුල හී වැල යනාදියයි. එහි ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. එහි මුල් කොටස විය දණ්ඩයි.පසු භාගයෙන් තිබෙන්නේ නඟුලයි. ඒ වගේ ලෞකික ප්‍රඥාවත් ලෝකෝත්තර ප්‍රඥාවත් යන කොටස් දෙකෙන් යුක්ත වූ විශිෂ්ට ඥානය සියලු කුශල ධර්මයන්ට ප්‍රධානව මෙම ශාසනික කෘෂිකර්මාන්තයට යෙදෙනවා. ‘පඤ්ඤයුත්තරා සබ්බේ කුශලා ධම්මා’ ප්‍රඥාව සියලු කුශල ධර්මයන්ගේ ප්‍රධානියා බව පෙනෙනවා. ‘හිරි ඊසා මනෝ යොත්තං සති මේ ඵාල පාචනං’ හිරි කියන ලජ්ජාවත් මන කියා දැක්වෙන සිතත්, සති නම් සිහියත් ඒ කාරණා තුනයි.මෙයින් ලජ්ජාව නඟුලිය හැටියටත් සිත ලණු හැටියටත් සිහිය කෙවිට හැටියටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ‘සති මේ ඵාල පාචනං’ කුඹුරක් හාන වේලාවේදී හී වැලෙනුත් කෙවිටෙනුත් කරන කටයුතු සතිය, එනම් සිහියෙන් ශාසනික ගොවිතැනේදී කෙරෙනවා.කෙවිටේ උදව්වෙන් නඟුල නිසි තැනට ගන්නවා. ඒ විධියට උදව්ව ආධාරය නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනික ගොවිතැනත් පහසුවෙන් කෙරෙනවා. මේ කියන සිහිය සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා තිබෙන හැටියට සතර සතිපට්ඨානයයි. ඉහත ගාථා පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ශාසනික ගොවිතැන ශ්‍රේෂ්ඨවන අයුරු පෙන්වා වදාළා. ‘ බ්‍රාහ්මණය, මගේ සී සෑම පිණිස නඟුල් දණ්ඩ හැටියට හිරි ඔත්තප්පයත්, රැහැන් ලණූ හැටියට සමාධි චින්තනයත් හී වැල සහ කෙවිට හැටියට සිහියත් යොදා ගන්නවා යැ’යි වදාළා. තථාගතධර්මයේ ඉගැන්වෙන ආර්ය ගොවිතැන නිවැරැදිව හැඳිනගෙන, සැබෑ ගොවිකම ජීවිතයට මුසු කොට ගෙන, ඉහළම අස්වැන්න ලබා ගැනීමට එනම් ආර්යත්වයට පත්වෙන්නට අධිෂ්ඨාන කර ගන්නා ලෙස සිහිපත් කරමි. තෙරුවන් සරණයි!

Read More »

Read More »

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks