Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget

බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.


සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.
R.C. CHILDERS  විසින් සම්පාදිත පාලි ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ ශ්‍රද්ධාපදය විවරණය කරන්නේ මෙසේ ය. ජ්චඪබඩ (ෆෙඉත්) සම්පූර්ණ දැඩි විශ්වාසය, හිතෛෂී බව, ආගමික විශ්වාසය (මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)
මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.
සද්ධා සීල සූත චාග පඤ්ඤා”
“සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
“සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
“සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
“සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.
පුද්ගල විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපවත්වන සාධකයකි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් බුදු සමය දකින්නේ ඒ නිසා ය. සං.නි.ධ්ධ්ධ් “සම්බුද්ධ සූත්‍රයේ” බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය’ උපදවති. නො හැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. මාර්ග දනිති. මාර්ගය දකිති. අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්ගය කියාදෙති. මාර්ගයෙහි නිපුණවෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.
මේ ශ්‍රද්ධාව නම් ප්‍රත්‍යක්‍ෂ ඥානයක් බවට පත්කරගත හැකි කරුණක් පිළිබඳව මූලිකව ඇති කරගන්නා පිළිගැනීම බව සැලකිය යුතු ය.
මජ්ඣිම නිකාය කීටාගිරි සූත්‍රයේ දී පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවීමට ශ්‍රද්ධාව මූලිකවන ආකාරය පැහැදිලිව දේශනාකොට ඇත. පළමුව බාහිර වශයෙන් පුද්ගලයා නිවැරැදි මාර්ගයට පැමිණීමට ශ්‍රද්ධාව මුල්වන ආකාරයත්, අනතුරුව ආධ්‍යාත්මික අතින් පුද්ගලයා වර්ධනය වෙමින් ප්‍රඥාවෙන් විමුක්තිය කරා ළඟා වන ආකාරයත් මින් මනාව ප්‍රකට වෙයි.
පුද්ගලයා තුළ අධ්‍යාත්මික වශයෙන් කිසියම් හෝ පරිවර්තනයක් ඇතිවීමට පෙර ඒ සඳහා හේතුකාරණා වන ධර්මයක් ඇසීමට පුද්ගලයා මෙහෙය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැත්තේ නම් පුද්ගල ආධ්‍යාත්මගත පරිවර්තනයකට අවශ්‍ය දහම් දෙසන කෙනකු වෙත නො එළඹෙයි. මෙසේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවීම විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට බලපාන මූලිකම කාරණාවයි.
උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට හේතුව දුක බව දේසනා කරති. ‘කාච භික්‍ඛවෙ සද්ධාය උපනිසා දුක්‍ඛංතිස්ස වචනීයං” මිනිසා තමා ලබන අද්දැකීම් විග්‍රහකර බැලීමෙන් පසු එහි ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වලට පෙළඹෙයි. බෞද්ධ විග්‍රහය අනුව මිනිසාගේ වර්තමාන අද්දැකීම වූ කලී අසහනයයි. අතෘප්තියයි. අසන්තෘෂ්ටියයි.
මෙම තත්ත්වය දුක ලෙස හඳුන්වාදිය හැකි ය. දුක ඉවත් කර ගැනීමට සිතන මිනිසා එයට මඟ කියන්නෙකු ගැන සොයා බලයි. තමාට ගැළපෙන මඟ කියන්නා තම ගුරුවරයා ලෙස පිළිගනී. මෙම පිළිගැනීමට පදනම් වන්නේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයයි. මෙයින් ද පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාව කරා ළඟා වන බවයි.
ශ්‍රද්ධාව ආකාර දෙකක ප්‍රතිඵල ඇති ස්වභාවයක් බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දී දේශනා කොට ඇත.
ශ්‍රද්ධාව, රුචිය, අනුස්සමය, ආකාර පරවි තක්ඛය, දිට්ඨි නිජ්ජානක්ඛන්ති යන මේ පස දෙයාකාරයක ප්‍රතිඵල ස්වභාව ඇතැයි කියවේ. ඒ අනුව ශ්‍රද්ධාවද වැරැදි හෝ නිවැරැදි වීමේ ප්‍රවණතාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබීම පරිහානියට නොව දියුණුවට හේතුවන කාරණාවක් බව ම.නි. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වෙයි. “යෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙතෙ සග්ගපරායනා” පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීම මෙන්ම දහම කෙරෙහි විශ්වාසය තැබීමද ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගත් මඟ ගමන් කරන්නා සද්ධානුසාරී ලෙස සූත්‍රවල සඳහන්ව ඇත. ඔහුගේ ශ්‍රද්ධාව බෙහෙවින්ම සරලය. “තථාගතෙ චස්ස සද්ධා චත්තං හොති පෙම්මත්තං” සද්ධා වීර්ය සති, සමාධි, පඤ්ඤ යන ඉන්ද්‍රියන් වැඩීමට ආරම්භ වීම ‘සද්ධානුස්සාරී පුද්ගලයාගේ ලක්‍ෂණයයි. දෙවෙනි ධම්මානුසාරී පුද්ගලයා ධර්මය පිළිබඳව වැටහීමක් ලබාගෙන ධර්මය පෙන්වන මගෙහි ගමන් කිරීමට උත්සාහ කරයි. මොහු තුළ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍ර වශයෙන් මුහුකුරා ගොස් තිබේ. “තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්ත සෝ නිජඣානං ඛමන්ති” මොවුන් දෙදෙනාම පෘතග්ජනයෝ නොවෙති. මොවුන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වන්නට පටන්ගෙන නියත වශයෙන්ම නිවනට පැමිණෙන්නෝ වෙති.
බුදුසමයෙහි උගන්වන ශ්‍රද්ධාව අමූලිකා හා ආකාරවතී යනුවෙන් දෙයාකාර වෙයි. අමූලිකා ශ්‍රද්ධා යනු හුදු විශ්වාසයයි. ඇදහීමයි. භක්තියයි. එහි විචාරීමක් හෝ අවබෝධයක් හෝ කරුණු කාරණා සලකා බැලීමක් නැත. අමූලිකා සද්ධාව “භගවත් ගීතාවේ” එන “භක්තිය” යන්නට සමාන වෙයි. අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඒ එහි යථාර්ථාවබෝධයක් නොමැති නිසා ය. මෙයින් වැඩෙන්නේ කුසල පක්‍ෂය නොව අකුසල පක්‍ෂයයි.
ඥානය ලබාගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස බුදුදහම සලකන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය අවබෝධයකින් යුතු විශ්වසනීය තත්ත්වයෙන් ද යුතු විචාරාත්මක ගුණයකි. බුදුදහම නිර්දේශ කරනු ලබන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවයි.
බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.
මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා දෙලොව සැපවිඳ අවසානයේ නිවන් අවබෝධ කර ගනී.
Read More »

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්‍ෂණයන්ගෙන් ලෝකය ස්වභාවකොට ඇති බවත් මමත්වයෙන් වැළඳගැනීමට අංශු මාත්‍රයක තරම් දෙයක් මෙලොව නොමැති බවත් වටහාගත් ලොවුතුරා බුදු පියාණන් වහන්සේ කළල්මත උපන් පද්මය දිය මතුපිට විකසිත වූවා සේ ලෝකය ඉක්මවා නොඇලී නොගැලී වැඩහුන් සේක.

පද්මය නම් නෙළුම් මලයි. නෙළුම්මල සුවිශේෂී පුෂ්පයකි. එය හට ගන්නේ දුගඳ හමන මඩ ගොහොරුවකයි. මඩේ උපන් පියුම දිය මතු පිටට පැමිණ විකසිත වෙයි. ඉන් විහිදෙන්නේ හද බඳින මන නන්දනීය සුවඳකි. පියුම විකසිත වී ලෝකය සුවඳවත් කරන්නේ තමා තුළ ඇති ආත්මීය ගුණයෙන් විනා තමා අවට ඇති පාරිසරික ගුණයෙන් නොවේ. කළල් මත ජනිත පද්මය දිය මතුපිට විකසිත වුවද පූජාසනයේ සුවඳවත් කරන්නට හැකි ගුණ සමුදායකින් පිරිපුන්ය.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ද පද්මාකාර ජීවිතයකට සමවේ. කෙසේද යත් උන්වහන්සේ උපත ලබන්නේ කෙලෙසුන් ගෙන් පිරුණු අකුසල මූලයන්ගෙන් තම ආත්මය වෙත පාපයේ දුගඳ සමීප කරගත් විප්‍රකාර සමාජයකයි. උන්වහන්සේ ඒ සමාජය තුළින් අවබෝධකරගත් ලෝක යථාර්ථය ගැඹුරුය. එම තත්ත්වාවබෝධය මගින් තුන් ලොව දිනූ සේක. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්‍ෂණයන්ගෙන් ලෝකය ස්වභාවකොට ඇති බවත් මමත්වයෙන් වැළඳගැනීමට අංශු මාත්‍රයක තරම් දෙයක් මෙලොව නොමැති බවත් වටහාගත් ලොවුතුරා බුදු පියාණන් වහන්සේ කළල්මත උපන් පද්මය දිය මතුපිට විකසිත වූවා සේ ලෝකය ඉක්මවා නොඇලී නොගැලී වැඩහුන් සේක. සූර්යාලෝකයෙන් විකසිත වූ පියුමක් සේ ප්‍රඥාලෝකයෙන් විකසිත කරගත් බුද්ධඥානයෙන් තුන් ලොවම සුවඳවත් කළ සේක.
බුදු දහමේ අරමුණ වන්නේ ද මිනිසා පද්මාකාර වූ ජීවිතයකට හුරු කිරීමයි. මිනිස් සිත අන් සත්ව සන්තානයන්ගෙන් වෙනස් වන්නේ ද මෙම ශ්‍රේෂ්ඨතම ප්‍රතිපදාව මගිනි. වෙනස්වන සුලු දුකින් බරවූ උරුමයක් නැති මේ සුන්දරතාවයන්ගෙන් සරසා ඇති ආකර්ෂණීය ලෝකය විඳින්නට ඉන්ද්‍රිය පංචකයක් ඇත. එනම් ඇස , කන , නාසය , දිව , ශරීරය වශයෙනි. ආයතන වශයෙන් ගත් කල මනස සමග සියල්ල හයකි. මෙම සලායතනයන්ගෙන් ස්පර්ශකරගත හැකි ලෝකය බැඳීම් සහගත ඇලීම් සහගත සුඛදායක වූ ආකර්ෂණීයත්වයකින් ගත්විට උපාදාන නම් බැඳීම හට ගනී. බැඳීමෙන් ලෝකය විඳීම, නිදහස් ලෙස ලෝකය විඳීම තරම් සුවදායක නොවේ.
දුක හටගන්නේ විඳීම නිසා නොව තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාවෙන් තොරව ලෝකය විඳීම මඩ නොගෑවී දියමත පිපෙන පද්මයක් බඳුය. නෙළුම් මලේ පෙත්තක පමණක් නොව නෙළුම් පත්‍රයක පවා දිය බිඳු නොරඳයි.
දියේ හටගත් මෙම අරුම පුදුම නිර්මාණය ජලයට අවනත නොවන හැටි බලන්න. මිනිස් සිතද ඒ තත්ත්වය දක්වා වැඩිය යුතු බවයි බුදු දහමේ සඳහන් වන්නේ. පුද්ගලයා විශ්වයේ නිර්මාණයක් වුවද හේතු ප්‍රත්‍යයන්ගේ හටගැනීමකි. එහෙත් හේතු ප්‍රත්‍යයන් කෙරෙහි පුද්ගලයා බැඳී සිටිය යුතු නැත. මෙලොව උපන් සත්වයා මූලික වශයෙන්ම ලෝකය තුළ විසීමට (ලෞකික) සුදුසුකම් තුනක් සපුරාගත යුතුවෙයි. එනම් ලෝභ, දෝස, මෝහ යනුවෙනි. මෙම මූල ධර්ම තුන ලොව වෙසෙන ලෞකික සත්වයා ජයග්‍රාහීව තැබීමට කැපවී ඇත. බැඳීම දැවීම වැසීම යනුවෙන් මේවා අර්ථ දැක්විය හැකිය. ලෝභය නම් වූ මූලය පුද්ගල සන්තානයට සියලු පි‍්‍රයතාවන් හා බැඳ තබයි. වස්තු ද්‍රව්‍ය පමණක් නොවෙයි. ආකල්ප මතවාද සංකල්ප ආදි මනෝමය සත්තාවන් කෙරෙහිද මෙය සාධාරණ වේ.
තමත් සතු වස්තුව අන්සතු වීමට ඉඩ ඇති සෑම අවස්ථාවකම දෝස හෙවත් ද්වේෂය (තරහව) නැගී සිටී. ලෝකයේ බොහෝ ගැටලුවලට හේතු වී ඇත්තේ සාම විරෝධි මෙම සංකල්පයයි.
ලෝකය හා ද්වේෂය යටපත් කර ගැනීමට යත්න දරන බොහෝ අවස්ථාවන්හිදී මෝහය නම් වූ ආවරණය නෙත සිත අභිමුව දිග හැරෙයි. එවිට සත්‍යය මැකී යයි. ප්‍රඥාව නිවී යයි. මනස මුළා වෙයි. මේ කරුණු නිසා පුද්ගලයා යථාර්ථය අමතක කර දමා විවිධ සටන් කොට තම අභිමතාර්ථයන් වෙනුවෙන් නැඟී සිටී.
අවශ්‍යතාවයන් හා ආශාවන් කෙරෙහි අසීමිතව ගැටෙමින් ජය ලබන්නට උත්සාහ දරයි. මේ තත්ත්වයන් වෙනස් කොට බැඳීම් දැවීම් වැසීම් වලින් තොරව ලෝකය විඳින්නට හැකි උතුමන් පියුමක් ලෙස සැලකිය හැකිය. මෙම පද්මාකාර ජීවිතයෙන් ලෝකයට සපයන පරමාදර්ශයද අසීමිතය. පද්මය ආසනයක් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේට හා සරස්වතී දේවියටයි. ඇතැම් දේව සංකල්පවල පද්මාසනය භාවිතා කර ඇත්තේ භක්තිමත් බව මූර්තිමත් කිරීමටය.
සරස්වතී දේවිය සංකේතවත් කරනුයේ කලාවයි. කලාව තුළ තිබිය යුතු නිර්මලත්වය මෙහි අරුත ලෙස ගත හැකිය. ජීවමාන වූ මානව සම්පතක ප්‍රතිමූර්තිය වන බුද්ධාසනය සඳහා පද්මය හෙවත් පියුම භාවිතා කිරීමට කලාකරුවන් ගත් තීරණය කෙතරම් විශිෂ්ටද .
බුදු සිරිතෙන් විහිදෙන වීතරාගී ගුණ සුවඳ මෙයින් සංකේතවත් වෙයි. පූජාවලියේ දැක්වෙන බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාව පිළිබඳව වර්ණනාවේ මෙබඳු ඡේදයක් ඇත.
“මාගේ ස්වාමිදරුවෝ ඒ මහීනාදය හා සමග තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ, බුද්ධඥාන නමැති සුර්ය කාන්තියෙන් ප්‍රබෝධ වූ, සුරක්ත වූ ඕෂ්ඨධාතු නමැති පත්‍ර ඇති, සද්ධර්ම නමැති මධු බින්දු ඇති, ශ්‍රීමත් වූ මුඛ පද්මය විවෘතකොට බැණ නැගී බසින් දිවූ සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඩක් සේ කෙරෙමින් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට පටන්ගත් සේක “
මෙම වර්ණනාවේදී තථාගතයන් වහන්සේගේ ජීවිතය හා නෙළුම් මලක ඇති පූජනීය ආදර්ශනය මැනවින් පෙනේ. තම අභිමානවත් ජීවිතයේ පවිත්‍රත්වය අති උදාර ආත්ම කථනයකින් ලොවට හෙළිකරදෙන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගත කළ පද්මාකාර ජීවිතය මනා ඇගයුමකට ලක්කරයි. “ජලයේ ඉපිද ජලයෙහිම වැඩී ජලයෙන් ඉහළට මතු වී ජලයෙහි නොගෑවී සිටින රත් නෙළුම් මලක් හෝ සුදු නෙළුම් මලක් පරිද්දෙන් කෙලෙස් සහිත මිනිසුන් අතරම ඉපිද ඔවුන් අතරම වැඩී කෙලෙසුන්ගෙන් තොරව ඉස්මතු වී නොගැටී වැඩ සිටින නිසාම තමන්වහන්සේ බුද්ධ නම් වන බව “ දේශනා කරති.
මහමඟ අසල දැමූ කසලගොඩක වුවද හොඳ සුවදැති නෙළුම් මලක් පිපී බබළන්නාක් මෙන් කසල ගොඩවල් වැනි අඳබාල මිනිසුන් අතර බුද්ධ ශ්‍රාවකයා නුවණින් බබළවන්නේය යනුවෙන් තමන් වහන්සේ ගත් මග ගනිමින් නිවී සැනසුනු තම ශ්‍රාවකයන් වහන්සේලාද පද්මාකාර ජීවිතයක් සතු කරගෙන ඇති බව දේශනා කළ සේක.
නෙළුම් විලේ දහසක් මල් විකසිත වෙයි. සුවඳ විහිදුවා පරවී යයි. පරවීයන මලක සුන් බුන් දියමත පාවී කුණු වී පතුලේ තැන්පත් වෙයි. එය නෙළුම් පඳුරට පොහොර වෙයි. අලුත් මලක උපතකට එය ජීවයක් දෙයි.
පුද්ගල චරිතයක්ද එසේ ගොඩනගාගැනීම මැනවි. හදවිල් පතුලේ හටගන්නා සෑම ප්‍රාර්ථනා පියුමක්ම ඉටු නොවී මිලින වී යන විට සිතට ඉතිරිවන්නේ පසුතැවිල්ල හා කලකිරීම පමණයි. බිඳවැටෙන අපේක්‍ෂාවන් තුළින් ආත්ම ශක්තිය උපදවා ගත යුතු අතර අලුත් බලාපොරොත්තුවකට එය ජීවයක් කරගත යුතුය. මලට පොහොර මෙන් ජීවිතයට අත්දැකීම් මහඟු ශක්තියකි.
Read More »

බුද්ධානුස්සති භාවනාව වඩන්නේ කෙසේ ද? යන්න ගැන නොදන්නා බොහෝ දෙනෙක් නව අරහාදී බුදු ගුණ පාඨ කියනවා විනා, භාවනාවක් වශයෙන් සිතේ සමාධියක් හෝ අඩු තරමෙන් සන්සුන් බවක් වත් ඇතිකර ගැනීමට නොහැකි අවුල්සහගත තත්ත්ව වලට මුහුණ පා සිටිති. කිසියම් භාවනා කමටහනකට අනුව භාවනා කරන්නකු තුළ ප්‍රඥාව වැඩෙයි. එසේම බුද්ධානුස්සති වැනි සෑම අනුස්සති භාවනාවක් තුළින් ද ප්‍රඥාව වැඩෙයි. අනුස්සති භාවනා වඩන්නේ කෙසේ ද යන මූලික දැනීමක් නැතිව එය කිරීමෙන් නම් ප්‍රඥාව නොවැඩෙයි.


පිරිසක් එකතු වී සාමූහිකව භාවනා කරන බොහෝ තැන්වල සිදු වන්නේ, දේශකයෙක් බුදු ගුණ පාඨ කියවන අතර, අසා සිටින පිරිස ඒ අනුව එම තාලයෙන්ම එම පාඨ උච්චාරණය කරමින් කාලය ගත කිරීමයි. එය අපේ පැරැණි ජන ගායනා වල එන ‘අත්වැල් ගායනා’ හා සමාන ස්වරූපයකි. පුරාණ කාලයේ වන්දනා ගමන් යන විට නඩේ ගුරා ‘තුන් සරණේ කවි’ කියයි. ඒ අනුව නඩය සැවොම නැවත එය ගායනා කරයි. එසේ වන්දනා ගමන් යන විට තුන් සරණේ කවි කියවන්නාක් මෙන් අනුස්සති භාවනා කිරීමෙන් ප්‍රඥාව වැඩෙන්නේ නැත. එනිසා, ප්‍රඥාව වැඩෙන විදියට අනුස්සති භාවනාව මෙනෙහි කළ යුතු ය.
බුද්ධානුස්සති භාවනාව වඩම්යි, සිතමින්, මාගේ සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති කළ නිසා අරහං නම් වන සේක.’ යැයි දස දහස් වරක් කීවත්, ඒ තුළින් එම බුදු ගුණය කටපාඩම් වනවා විනා ප්‍රඥාව නොවැඩෙයි. ප්‍රඥාව වැඩෙන විදියට, ‘අරහං’ බුදු ගුණය සිහිපත් කිරීමයි කළ යුතු වන්නේ අනුස්සතිය යනු, බුදු ගුණ අනුව සිහිය තබා ගෙන ස්මරණය කිරීම ය. බුදු රජාණන් වහන්සේගේ සිත තුළ කිසිම ආශාවක් නොවී ය. රාගය (සියලු ආශා නැති කළ සිතකි) බුදුරජාණන් වහන්සේගේ සිත තුළ ද්වේෂය (තරහව, කෝපය, වෛරය, වැළපීම, දුක, කනගාටුව) ආදී ද්වේෂ මූල සහමුලින්ම නැති කළ සිතකි. බුදුන් වහන්සේගේ සිත, මෝහය (මුලාව, සැකය, විචිකිච්ඡාව ආදී) නොපැහැදිලි කිසිවක් නැති පරම පවිත්‍ර වූ ආලෝකවත් සිතකි. බුදුපියාණන් වහන්සේගේ සිත හා සසඳා බලන විට, මාගේ සිත රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල මුලවලින් බර වී ඇත. රාග, ද්වේෂ, මෝහ වලින් සහමුලින්ම වෙන් වූ බුදු සිතකට දැනෙන සුවය නිදහස කෙතරම් උතුම් ද? ඒ අනුව මාගේ සිත තුළ පවතින රාග ද්වේෂ මෝහාදී අකුසල් සිත් හඳුනාගෙන එම සිතිවිලි වෙනුවට වීතරාගී, සතදෝෂී, වීතමෝහී සිතිවිලි පහළ කර ගනිමි. රාග, ද්වේෂ මෝහ යන ත්‍රිහේතුක අකුසල් සිත් පලවා හැර, රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ත්‍රිහේතුක කුසල සිත් පහළ කර ගනිමි. ඒ පිළිබඳ නිරතුරු සතිය පවත්වාගනිමි. මෙසේ බුදුන් වහන්සේගේ සිත අනුව මෙනෙහි කරමින් බුද්ධානුස්සතිය වඩන විට, තම සිතේ අඩුපාඩු හා අකුසල් පිළිබඳ හඳුනා ගැනීමට හැකි වන අතර, ඒ අනුව කෙමෙන් කෙමෙන් ප්‍රඥාව හා සිහිය වැඩීම හේතුකොටගෙන, රාග, ද්වේෂ, මෝහාදී අකුසල් දුරු කර ගැනීමට හැකියාව ලැබෙයි.
චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක යන පාඨය ද කියවූ පමණින් ඵලයක් නොලැබෙයි. බුදුරජාණන් වහන්සේ කිසිම ගුරු උපදේශයකින් තොරව අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය වන දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන කාරණා සතර, බුදුරජාණන් වහන්සේ කියා දී ඇති ආකාරයටම මමත් තේරුම් ගෙන සිටිම්ද, නැද්ද? තේරුම් ගෙන නැතිනම්, තේරුම් ගත නොහැකි මන්ද? මෙසේ චතුරාර්ය සත්‍ය තේරුම්ගන්නට සිත් පහළ වන විට නුවණැස පෑදී ප්‍රඥාව වැඩෙයි. මෙතෙක් සැප යැයි සිතා සිටි සෑම දෙයක් තුළම ඇති දුක ගැන පැහැදිලි දැනීමක් ඇති වෙයි. එසේම දුක ඇතිවීමට හේතු වන්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව බව පැහැදිලි වෙයි. දුක නැති කර ගැනීමට නම් අවිද්‍යාව හා තෘෂ්ණාව සහමුලින්ම පලවා හැරිය යුතු බව මැනවින් වැටහෙයි. තමන් දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය මාර්ගයේ ගමන් කරන අයෙක් ද නොකරන අයෙක් ද? යන්න ගැන දැනීමක් ඇති වෙයි. එසේම තමන් තුළ නැති මාර්ග අංග මොනවාද යන්නත්, දැන ගැනීමයි. මෙලෙස සම්මා සම්බුද්ධ ගුණය ගැන මෙනෙහි කරන විට ප්‍රඥාව වැඩෙයි. ආර්ය මාර්ගය ගමන් කිරීමට ඕනෑකම හා වීර්යය ඇති වෙයි.
තෙවනුව, සියලු විද්‍යා සාක්ෂාත් කළ නිසා විජ්ජා චරණසම්පන්න නම් වන සේක. යන පාඨය සමග බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ත්‍රි විද්‍යා වලට සම කළ හැකි අන් කිසි විද්‍යාවක් මෙතෙක් බිහිව නැති බවත් අනාගතයේ ද එවන් විද්‍යාවක් බිහි කළ හැකි වේද යන්නත් විමසා බලමින් මෙනෙහි කළ යුතු ය. පුබ්බේනිවාසානුස්මෘති ඤාණය, ආසවක්ඛාය ඤාණය, චුතුප්පාද ඤාණය යන විද්‍යා ත්‍රිත්වය නවීන විද්‍යාවන්ට කෙසේවත් සමකළ නොහැකි ය. සත්වයෙකුගේ පූර්ව ජාතිය පිළිබඳ සැකහැර දැන ගැනීම සිත තුළ පහළ වන ආශ්‍රවත් අතහැර දමන ආසවක්ෂය ඤාණය, සත්වයකුගේ මරණයෙන් පසුව නැවත උප්පතිය ලබන හැටි දැනගන්නා චුතුප්පාත ඤාණය නමැති මේ ත්‍රිවිද්‍යාව ලොවට පසක් කළ බුදු දහම තුළින්ම මිස නවීන විද්‍යාව මගින් මේවා අවබෝධ කළ නොහැකි ය. එසේ බුදුන්වහන්සේ තුළ පැවැති විද්‍යා චරණ ගුණය විචාර බුද්ධියෙන් යුක්තව මෙනෙහි කරන විට, ප්‍රඥාව වැඩෙයි. එසේම බුදුන් වහන්සේගේ උත්තරීතර ප්‍රඥාවේ මහිමය අවබෝධ වී උන්වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාවත් වැඩිදියුණු වී, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න අයෙකු බවට පත් වෙයි.
සුන්දර නිවන් මඟට පැමිණි නිසා සුගත නම් වන සේක’. යන බුදු ගුණය ද සවිස්තරව මෙනෙහි කළ යුතු ය. සුගති දුගති යනුවෙන් පැවැතුම් දෙකකි. ගත සිත දවන, කලක පෙළන ගති බහුලව ඇත්තේ, දුගති වල ය. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී සුගති වල වෙසෙන සත්වයන්ට පවා කිසියම් කාලයකදී ඒවායින් චුත වීමට සිදුවෙයි. නැතිනම් මරණයට පත්වන්නට සිදුවෙයි. මෙසේ සුගති වල වෙසෙන දිව්‍ය, බ්‍රහ්ම ආදීන්ටත් කිසියම් මොහොතක අනිත්‍ය ස්වභාවයන්ට ලක්වන්නට සිදුවේ නම් ඉන් පහළ තල වල වෙසෙන මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත සතර අපාය ආදී දුගති වල සිටින සත්වයන්ට ඇතිවන චිත්ත පීඩා මෙන්ම කායිකවද වේදනා අනන්ත ය. එනිසා සියලු දුගතීන්ගෙන් හා සුගතීන්ගෙන්ද මිදුණු සත්වයන් සුවපත් භාවයට පත් කරන්නාවූ සුගත තථාගත බුදු ගුණය හා බලය මා තුළ ද ඇති කර ගනිමියි ප්‍රඥාවෙන් යුක්තව මෙනෙහි කරන විට, ප්‍රඥාව වැඩෙයි. ආර්ය මාර්ගයේ ගමන් කිරීමට පොළඹවන වීර්යය ඇතිවෙයි.
සියලු ලෝක පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගත් නිසා ලෝක විදූ නම් වන සේක’ යන බුදු ගුණය මෙනෙහි කරන විට, නාම ලෝක, රූප ලෝක, අරූපලෝක ආදී සකල විධ ලෝක ධාතු වල යථා ස්වරූපය අවබෝධ කරගනිමින් එම ලෝක ධාතූන්ගෙන් එතර වූ මිදුණු ලෝකෝත්තර තත්ත්වයට පත් යන අර්ථය මෙනෙහි කළ යුතු වෙයි. ප්‍රඥාව වැඩෙන්නේ එවිටයි. පුද්ගලයන් දමනය කිරීමේ කුසලතාවෙන් අගතැන්පත් බුදුරදුන් නිසා අංගුලිමාල, ආලවක, නාලාගිරි වැනි දරුණු සිත් ඇති ඇත්තන් මෙන්ම සච්චක වැනි පණ්ඩිත මානයෙන් උදම් වූ අයත් බුදුදහමේ පරම සත්‍යය අවබෝධ වී නිවී සැනසීමට පත් වූ ආකාරයෙන් මම ද එම පරම සත්‍ය අවබෝධ කර ගනිමි. ආදි වශයෙන් නා නා විධ පුරුෂයන් ධර්මයට නැඹුරු කර ගත් ආකාරය මෙනෙහි කරන විට ප්‍රඥාව වැඩෙයි. මිනිසුන්ගේත් දෙවියන්ගේත් ශාස්තෘන් වහන්සේ වන නිසා සත්ථා දේව මනුස්සානං වන සේක, යන බුදු ගුණය මෙනෙහි කරන විට දී, බුදුරජාණන් වහන්සේට ද පෙර වෙනත් කිසිම ශාස්තෘන් වහන්සේ කෙනෙකු හෝ දෙවියෙකු බ්‍රහ්මයෙකුවත් නොදැන විට චතුරාර්ය සත්‍ය ධර්මය වෙනත් කිසිවකුගේ ගුරු උපදේශ රහිතව තමා විසින්ම අවබෝධ කර ගෙන දේශනා කළ බැවින් සත්තා දේව මනුස්සානම් විය. උන්වහන්සේට සම කළ හැකි වෙනත් කිසිම ශාස්තෘවරයකු මනුෂ්‍යයන් අතර පමණක් නොව දෙවියන් අතර පවා නැත. උන්වහන්සේ අවබෝධ කර ගත් ධර්මය කිසිම අඩුවක් නැතිවම දේශනා කළ නිසා බුද්ධ වන සේක. යනුවෙන් මෙනෙහි කළ යුතු ය. බුදු දහම පරිපූර්ණ දහමකි. එයට අලුතින් කිසිවක් එකතු කිරීමට හෝ බැහැර කිරීමට කිසිවකුටත් ඉඩක් නැත. බුදු දහම ප්‍රඥාවන්තයන්ගේ දහමකි.
මෙසේ නව අරහාදී බුදු ගුණ නිසිලෙස මෙනෙහි කරමින් භාවනා කරන විට ප්‍රඥාව වැඩිදියුණු වෙයි. අවබෝධ නොවී පැවැති දහම් කරුණු අවබෝධ වන්නට වෙයි. රාග, ද්වේෂ, මෝහාදී ක්ලේශ ධර්ම තුනීවී ටිකෙන් ටික පහවී යයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත් මාර්ග ඵලයන්ට පමුණුවයි. සියලු ක්ලේශ සන්සිඳී විද්‍යාව පහළ වී යථා භූත ඤාණ දර්ශනය පහළ වෙයි. එබැවින් සෑම බෞද්ධයෙක්ම නව අරහාදී බුදු ගුණ, මන්ත්‍ර මෙන්ම ජප කරන්නේ නැතිව නිසි ලෙස මෙනෙහි කිරීම මඟින්, ධර්මය දැක ගැනීම තුළින්ම අමාමෑණි බුදුරදුන් දැකගත යුතු ය.
Read More »

ඈත අතීතයෙහි බුරුමය බ්‍රහ්ම දේශය, මරම්ම දේශය ආදී වූ විවිධ නම්වලින් හඳුන්වා ඇත. බුරුමයෙහි දේශ සීමාවන් ලෙස ගොඩබිමෙන් ඉන්දියාව, බංගලිදේශය, තායිලන්ත්‍ය, ලඕසය ආදී වූ රටවල් ඇති අතර දකුණෙන් බෙංගාල බොක්ක ද බුරුමයේ සීමාවන් ලෙස පිළිගැනේ. බුරුමය මැඳින් ගලා බස්නා වූ විශාල ගංඟාව වනුයේ ඉරවඩිය. ඈත අතීතෙයි මෙහි ජනාවාස පිහිටවා තිබුණු බව බුරුම ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. ලංකාව මෙන්ම බුරුමය ද අතීතයෙහි යටත් විජිත රාජ්‍යයක් බවට පත් වි තිබුණු අතර එම රටට නිදහස හිමි වනුයේ 1948 ජනවාරි 04 වැනිදාය. මෙහි වර්තමාන අගනුවර වනාහි රුන්ගුන් නුවරයි. බුරුම ඉතිහාසය පරීක්ෂා කිරීමේදී එය ප්‍රධාන වශයෙන් කොටස් 03කට බෙදා දැක්විය හැකිය.





ආරම්භයේ සිට 10 සියවස දක්වා වූ පුරාතන යුගය
වන සියවසේ සිට 15 වන සියවස වූ මධ්‍යතන යුගය
16 වන සියවසේ සිට මේ දක්වා වන නූතන යුගය
අපගේ මාතෘකාවට ඇවැසි වන්නේ ඉහත සඳහන් කළා වූ දෙවැනි කොටස් වූ වන සියවසේ සිට 15 වන සියවස දක්වා වූ කාල පරාසය යි. මෙම යුගයෙහි බුරුමයේ ඓතිහාසික වූද, ශාසනික වූද, විශාල සිදුවීම් සිදුවී ඇත. ඒ අතර ශ්‍රේෂ්ඨ නරපතියන් බිහිවීම, ථෙරවාද බුදුදහම බුරුමය පුරා ව්‍යාප්ත වීම ලංකාව සහ බුරුමය අතර විශාල සම්බන්ධතාවයක් පැවැත්වීම සහ ජප්පට හිමියන්ගේ් මූලිකත්වයෙන් බුරුමයෙහි අලුත් නිකායන් බිහිවීම ආදි වූ විශාල තොරතුරු රාශියක් මේ යුගයේදී සිදු විය.
බුරුම දේශයට බුදුදහම පැමිණීම හා සම්බන්ධව විවිධ මතවාද උද්ගත වන්නේ ය. ඒ අතර සමහරෙක් ප්‍රකාශ කරන්නේ බුරුම දේශයට බුදුදහම බුදුන් ධරමාන කාලයේදීම, ගමන් කළ අතර තවත් සමහරකු ප්‍රකාශ කරන්නේ ධර්මාශෝක රජුගේ ධර්ම ප්‍රචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස බුරුමයට බුදුදහම ලැබුණු බවයි.
එහි ඓතිහාසික ලේඛනවල සඳහන් වන ආකාරයට ධර්මදූත පිරිස ‘ඉරවඩ්’ ගඟ අසබඩ ‘මර්තබාන්’ සමුද්‍රවංකය ඔස්සේ පැමිණ ගංගාමිටියාවත ඔස්සේ පහළට ගමන් කොට මධ්‍යම බුරුමය දක්වා ධර්මය ප්‍රචාරය කොට ඇත. නමුත් ‘බ්ලැග්ඩර්න්’ නමැති පුරාවිද්‍යාඥයා කල්‍යාණි ශිලා ලිපියට අනුව ප්‍රකාශ කරන්නේ දකුණු බුරුමයේ ‘මෝඩ්’ නම් ප්‍රදේශයට සෝණ- උත්තර දෙනම පැමිණ බුරුමයෙහි ථෙරවාද බුදුදහම ස්ථාපනය කළ අතර ඒ නිසාම පුරාණයෙහි බුරුමය සුවණ්ණභූමිය යනුවෙන් ද හඳුන්වන බවයි.
ඓතිහාසික ලේඛනවල සඳහන් වන ආකාරයට බුදුරදුන් ධරමාන කාලයේදීම බුරුම දේශයට වැඩම කොට ඇති අතර එහි දී තමන් වහන්සේට කුස තණ අට මිටක් පූජා කළ තපස්සු භල්දුක නමැති වෙළෙඳ දෙබෑයන්ට කේශ ධාතු ස්වල්පයක් දුන් අතර එය ඔවුහු සිංගුත්තර කඳු මුදුනෙහි දාගැබක තැන්පත් කළහ. එය නූතනෙය් ස්වේදගොන් යනුවෙන් හඳුන්වයි. නමුත් විශ්වාසනීත්වයෙන් පිළිගත හැකි කරුණ වන්නේ අශෝක රජුගේ ධර්ම ප්‍රචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස බුරුම දේශයට බුදුදහම ලැබුණු බවයි.
බුරුමයේ සිටි ශ්‍රේෂ්ඨ පරපතියෙකු ලෙස අනුරුද්ධ රජතුමා හැඳින්විය හැකිය. මොහු බුරුමය පාලනය කළේ ක්‍රි.ව. 1044 - 1077 යන කාල පරාසයේදී ය. මේ කාලයේදී මුළු බුරුම පුරා ථෙරවාද බුදුදහම ව්‍යාප්ත වී තිබුණු බව සඳහන් වේ. මෙකල මෙහි අගනුවර වූයේ පගාන් රාජ්‍යය යි.
මෙවකට බුරුමයේ ප්‍රාදේශීක පාලකයෙකු වූ මතොහරි රජු වෙත ත්‍රිපිටක ග්‍රන්ථ තිබුණු බව ප්‍රකට විය. කෙසේ හෝ මේ ත්‍රිපිටක ග්‍රන්ථ ලබා ගන්නා ලෙස ෂින් අරහත් භික්ෂුන් අනුරුද්ධ රජුට පැවැසූහ. මේ රජුගෙන් පොත් ලබා ගැනීම දුෂ්කර වූ හෙයින් ඔහු සමඟ සටන් කොට ඔහු ජීවග්‍රහයෙන් ගෙන එම දේශයේ තිබුණු ත්‍රිපිටක ග්‍රන්ථ තිහක්ද, ධාතු කරඬු ආදිය පගාත් රාජ්‍යයට ගෙනාවේය. මේ කරුණු වලින් විශද වන්නේ පේගු රාජ්‍ය (හංසවතී) ථෙ ටොන් (සුධම්මවතී) ආදී ප්‍රදේශවල බුද්ධ ධර්මය ව්‍යාප්තව පැවැති බවය.
ඉන්පසු මෙතුමා එම ග්‍රන්ථ තැන්පත් කිරීම සඳහා විශාල පුස්තකාලයක් ගොඩනඟා ඇත. මේ අනුව එකොළොස්වන සියවසේ මුල් භාගයේ සිට දහතුන්වන සියවසේ අවසානය දක්වා ම පගාත් නුවර බුරුම බෞද්ධ සංස්කෘතියෙහි මූලස්ථානය වූවා පමණක් නොව එහි බෞද්ධ අධ්‍යාපනය සහ බෞද්ධ කලා පිළිබඳ ව පැතිරි පැවැතී කීර්ති රාවය නිසා මෙය නැගෙනහිර ආසියාතික රටවල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මධ්‍යස්ථානය ද විය.
අනවරත රජ මනොහරී රජුට අයිතිව තිබූ පොත් ලබා ගැනීමෙන් පසුව, අරහත් භික්ෂුවගේ අවවාද අනුශාසනා පරිදි බුද්ධාගම රාජ්‍යාගම බවට පත් කළේ ය. රජතුමාගේ පරිශ්‍රමය නිසා පසුකාලීනව ශාසන සංශෝධන කිහිපයක් ද ඇතිවිය. මෙතුමා බුරුමයේ සෑම කඳු මුදුනකම චෛත්‍ය කර්මාන්ත සිදු කළ අතර ඒවා ‘පැගෝඩා’ යන විශේෂ නාමයෙන් හඳුන්වා ඇත.
මෙම රජතුමාගෙන් පසුව රාජ්‍යය උරුම වන්නේ අනුරුද්ධ රජුගේ පුත් ‘කෙයං සිත්ථ ට ය’. මොහු ක්‍රි.ව 1084 - 1113 දක්වා කාලය රාජ්‍ය විචාරන්නේය. ක්‍රි.ව. 1093 අයත් ‘සෙවසන්සෝ’ සෙල් ලිපියකට අනුව මෙතුමා සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත් බුද්ධගයාව ප්‍රතිසංස්කරණය කරලීම සඳහා දූත පිරිසක් යවා ඇත. මේ වූ කලී බුරුම රජෙකු සහ ඉන්දියාව හා සංස්කෘතික සම්බන්ධකම් ඇති කර ගැනීමට තැත් කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකි ය.
ක්‍රි.ව. 13 වන සියවසේ දී ටාටාර්වරුන්ගේ ආක්‍රමණය හේතුකොට ගෙන බුරුමය සෑම අතින්ම පිරිහෙන්නට විය. පිරිහුණු දේශය යළි සමෘද්ධිමත් කරනුයේ 15 වන සියවසේ මධ්‍ය භාගයේදී රජකළ ධම්මචේතිය රජතුමා ය.
මෙතුමා විශාල වශයෙන් ශාසනික, සංස්කෘතික, ආගමික සේවාවන් සිදුකොට ඇති අතර බුරුම ඉතිහාසයද ලියා ඇත. එම ඉතිහාසය කල්‍යාණි ශිලා ලිපිය යනුවෙන් හඳුන්වා ඇත.
කෙසේ වුවද බුරුම රාජ්‍යයට බුදුදහම පැමිණීමෙන් පසු විවිධ මිථ්‍යා දෘෂ්ටි අදහමින් සිටි බුරුම වැසියන් නියම ලෙස බුදුදහම අදහන්නට විය. තවද සෑම පුරුෂයකුම සුළු කලයකට හෝ පැවිදි විය යුතුය. විවාහ වීමේදී පරික්ෂා කරන එකම දෙය පැවිදි වී ඇති බවයි. මේ ආදි වශයෙන් බෞද්ධ සංස්කෘතික විපර්යාසයන් රාශියක් බුදුදහම පැමිණීමෙන් පසු සිදුවිය.
Read More »

පෙර දවස පියුමතුරා බුදුන් සමයෙහි දඹදිව හංසවතී නුවර කුලගෙයක දැහැමි ඇමැති දියණියක ලෙස උපන් මෝතොමෝ යෙහෙළියන් පිරිවරා ගොස් බුදුබණ අසන්නී බුදුහිමි ශාසනයේ මූලින්ම පැවිදි වූ උන්වහන්සේ සුළු මව්තුමිය චිරරාත්‍රඥ යන ගෞරව නාමය තබනු දුටහ. මින් ඉමහත් ප්‍රමෝදයට පත් මෙතුමිය ‘මම ද යම් කලෙක බුදු කෙනෙකුට සුළු මව වී භික්ෂුනි ශාසනයේ මුලින්ම පැවිදිව ‘චිරරාත්‍රඥ’ ගෞරව නාමය ලබමි’ යි අදිටන්කොට බුදු සිරිපතුල වැන්දාහ. බුදුහිමි මින් කල්ප ලක්ෂයක් ගිය කළ පහළවන ගෞතම බුද්ධ ශාසනයේදී ඒ පැතුම ඉටුවන්නේ යයි විවරණ ප්‍රකාශ කළහ. ඕ තොමෝ දිවි ගමනේ දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් වැස සසර සැරිසරනුයේ පසේබුදුවරුනට වස් එළඹෙන කුටි තනවා, දන්දීම් ආදිය කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් අප ගෞතම බුදුරදුන් පහළවීමට පෙර දඹදිව දෙව්දහ නුවර කෝලිය වංශයෙහි මහා සුප්‍රබුද්ධ අංජන රජතුමාගේ කණිටු දියණිය ලෙසින් උපන්නී ‘ගෞතමි’ නම් වූවා ය. ඇයගේ වැඩිමහල් සොයුරිය මහාමායා දේවිය වූ අතර මෑණියන් වූයේ කිඹුල්වත්නුවර සිංහහනු රජුගේ නැගණිය වූද සුදොවුන් රජුගේ නැන්දනිය වූද ශුභ ලක්ඛණ හෙවත් ‘මහා යසෝධරා’ දේවිය යි.


මහත් වූ ප්‍රජාවට පති වන්නේ යයි නැකත්කරුවෝ මැය ‘ මහ ප්‍රජාපතී’ නම තැබූහ. තවද මහාමායා ප්‍රජාපති දේවින් දෙපොළගේ කුස උපන් දරුවෝ මතු සක්විති වන්නායි ද ඔවුහු ප්‍රකාශ කළහ.
සුද්ධෝදන මහරජතුමා වැඩිවිය පැමිණි කළ මොවුන් දෙදෙනා මහ පෙරහරින් කිඹුල්වත් නුවරට ගෙන්වා මහාමායා දේවිය අගමෙහෙසුන් ලෙසද තැබූහ. අප මහා බෝසත්හු තුසිත දෙව්ලොවින් චුතව මනුලොව මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්හ. බෝසත් උපතින් සත්වන දින මහාමායා දේවිය කළුරිය කළාය. සිදුහත් කුමරු ඉපදි දින පහකට පසුව මහාප්‍රජාපති දේවිය නන්ද කුමරුන් බිහි කළාය. සුදොවුන් මහරජ මහාමායා දේවි අගමෙහෙසුන්ගේ හිස් තැන්හි ප්‍රජාපතී දේවිය තැබූහ. අගමෙහෙසුන් ප්‍රජාපති දේවිය සිදුහත් කුමරුන්ට සිය මව්කිරි දෙමින් පෝෂණය කළ අතර නන්ද කුමරුන්ට කිරි දී පෝෂණ කිරීම කිරිමවුවරුනට භාර කළහ. බෝසතාණෝ සුළු මව් රැකවරණයෙහි වූහ.
පසුකල බෝසතාණෝ බුද්ධත්වයට පත්ව කිඹුල්වත් පුර වැඩියහ. පිය මහරජ බණ අසා සෝවන් විය. නන්ද කුමරු පැවිදි වූහ. රාහුල කුමරුද පැවිදි වූහ. පසුකල ශුද්ධෝදන රජතුමා අර්හත්ව පිරිනිවියහ. දැන් කිඹුල්වත් පුර රජමැදුර ප්‍රජාපති දේවියට ඇලුම් නැත. තමනුත් පැවිදි වීමට සිතූහ. රෝහිණි ගංතෙර කලහ විවාද සූත්‍ර දේශනාව අවසානයේ නික්ම පැවිදි වූ පන්සියයක් කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් සැවොම එක් සිත්ව මහා ප්‍රජාපති දේවිය කරා ගොස් සියලු දෙනාම ශාස්තෘන් වහන්සේ සමීපයෙහි පැවිදි වෙමිනයි මහා ප්‍රජාපතිය ප්‍රමුඛ කොට බුදුන් සමීපයට ගොස් පැවිදිවනු කැමැති වූහ. සෝවාන් බව ලද ප්‍රජාපති ගෝතමි දේවිය තමනට පැවිද්ද දෙන සේ
සාධු භන්තෙ ලභෙය්‍යා, මාතුගාමො තථාගතප්පවේදිතා
ධම්ම විනයේ අගාරස්මා අනගාමියං පබ්බජ්ජංති
යි භාග්‍යවතුන් වහන්ස! ඔබ හිමි දෙසු ධර්ම විනයෙහි අනගාරික පැවිද්ද ලබා ගැනීමට ස්ත්‍රින්ටද අවසර ලබා දෙනු මැනවයි ආයාචනා කළහ. බුදුහිමියෝ
අලංගෝතමි මා තෙ රුච්චිමාතු ගාමස්ස
තථාගතප්පවෙදිතෙ ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බංජති
යි ‘ගෝතමිය, බුදු සසුනෙහි ස්ත්‍රි පැවිද්ධ නොපැතුව මැනවි. එම අදහස අත්හැර දමන්නැයි යනුවෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ප්‍රජාපති දේවිය දෙවනවර ද තෙවනවරද කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. එහෙත් පැවිදිවීමේ සිත අත් නොහළාය. එතුමිය පිරිසට පවසනුයේ අප හැම දෙන කෙස් කපා කසාවත් හැද පාත්‍ර රැගෙන උපාසිකාවන් ලෙසින් ගොස් අවසර පතමු. සමහරවිට අප කෙරේ අනුකම්පාවෙන් පැවිද්ද දෙනු ඇතැයි යනුවෙනි. එපරිදි කෙස් කපා, කසාවත් රෙදි හැඳ පෙරවා, පාත්‍රධාද්ව බුදුහිමි වැඩ වසනා කූටාගාර ශාලාව වෙත ගමනාරම්භ කළහ. පනස්එක් යොදුන් මග යනු පිණිස බොහෝදෙනා යානවාහන දැක්වුවද ඒ පෙරත්ත ඉවලමින් දූවිලි මග පයින්ම කූටාගාරා ශාලාව වෙත පැමිණියහ.
මහා ප්‍රජාපති ගෝතමී ඉදිමුණ පාදවලින් යුතුව දූවිලි ශරීරයෙන්, දොම්නසින් කඳුළු නෙතින් හඬමින් සිටියා යයි දැක්වේ.
පන්සලෙත්, පන්සලෙන් පිටත් කළමනාවත් පිළිවෙත් වේදැයි සොයා බලන ආනන්ද හිමියනට මෙම පිරිස පෙනිණි. ඇයි ගෝතමිය ඔබ පුත් බුදුහිමි වැඩ වසනා අරමට නොපැමිණ මෙතන ඉන්නේ? කිඹුල්වත සිට ඔබලාට සතුරු විපත් වීද? පැවිදි වෙස් ගත්තේ ඇයි? තුවාල පාද දූවිලි සිවුරු ඇයි මේ හඬන්නේ’ යනාදි ප්‍රශ්න නැඟු කළ ‘මම කාන්තා පැවිද්දට බුදුහිමියන්ගෙන් අවසර පැතුමුත් තෙවරක්ම ප්‍රතික්ෂේප වුණු අතර මෙපරිදි පැවිදි වෙසින් පැමිණවත් එම අරමුණ ඉටුකරගන්නට අදහස් කළෙමි. එය ඉටු නොවුවහොත් ආරාමය තුළට නොගොස් ආපසු යන අදහසින් පැමිණියෙමු’ යි ගෝතමිය පිළිතුරු දුන්නාය.ආනන්ද හිමි බුදුහිමි වෙත සියලු පුවත් සැලකළහ. කාන්තා පක්ෂයට සසුන් පැවිද්ද අනුදැන වදාරන ලෙස ඉල්ලූහ. බුදුහිමි ඒ පිළිබඳ උත්සාහවත් නොවන්නැයි තෙවරක්ම අනඳහිමියන්ට වදාළහ. අනතුරුව ‘කාන්තාවනට පැවිදිව මගඵල ලැබිය නොහැකි දැයි අනදහිමි විචාල කළ එසේ ‘පුළුවනැයි’ බුදුහිමියෝ වදාළහ.
එසේනම් ‘කාන්තාවනට පැවිද්ද අනුදැන වදාරනු මැනවි. මේ ඔබ වහන්සේගේ සුළු මවු ය. ඔබ වහන්සේට බොහෝ උපකාර කළාය යනාදි ලෙසින් සිව්වන වරට අනඳහිමි කළ අයැදුම ‘ආනන්ද එසේනම් මහා ප්‍රජාපති ගෝතමිය අෂ්ට ගරුධර්ම පිළිගනියිනම් ඇයට එම පිළිගැනීමට පැවිද්ද හා උපසම්පදාව යයි වදාරා අෂ්ට ගරුධර්ම වදාළහ.
ආනන්ද හිමි ප්‍රජාපති ගෝතමිය වෙත එම අෂ්ටගරු ධර්ම ඉදිරිපත් කළහ. ඉතා ගෞරවයෙන් එතුමිය ඒ හිස් මුදුනින් පිළිගත්තාය. එය සම්බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂුණිය බිහිවීම විය.
උපසම්පන්න ප්‍රථම භික්ෂුණිය ප්‍රජාපති දේවිය වූවාය. භික්ෂුණි ශාසනයේ මෙහෙණි සස්නේ ආරම්භය එය විය. අනෙක් කාන්තා පිරිස කූටාගාර ශාලාව වෙතගොස් භික්ෂූ සංඝයා වහන්සේ වෙතින් අෂ්ටගරු ධර්ම ගෞරවයෙන් පිළිගෙන භික්ෂුණී උපසම්පදාව ලදහ. පන්සියයක් භික්ෂූන් පිරිවරාගත් ප්‍රජාපති ගෝතමී භික්ෂුණි බුදුහිමි වෙත එළඹැ එකත් පස සිටියහ. කමටහන් ලද ප්‍රජාපති භික්ෂුව භාවනා කොට අර්හත්බවට පත්වූවාය.
එදා පියුමතරා බුදුහිමි දවස පැතු පරිදි ගෞතම බුදුපියාණෝ දිනක් දම්සභා මණ්ඩපයේ දී එතදන්තං භික්ඛවෙ චිරරතනඤ්ඤුනං මම සාවකානං භික්ඛුණිතං චිරරත්ඤ්ඤුනං යදිදං මහා ප්‍රජාපති ගොතමි’ යනුවෙන් මහණෙනි චිරරත්‍රඥ වූ මාගේ ශ්‍රාවිකා භික්ෂුණින් අතුරින් මහා ප්‍රජාපති ගෝතමි භික්ෂුණිය අග්‍රවේයයි වදාළහ. අදහස මුදුන් පත්විය.
බුද්ධ වීර නමොත්‍යත්ථු - සබ්බසත්තාන මුත්තමං
යො මං දුක්ඛා පමෝචෙති - අඤ්ඤංච බ්‍රහකං ජනං යනාදින් බුද්ධ වීරයාණන් වහන්ස, තිලොව සැමට උතුම් උත්තමයාණෙනි! ඔබ හිමියන් මා ද අන්‍ය බොහෝ ජනයා ද සසර දුකින් මිදුණි. එසේ කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවායි උදාන වාක්‍ය පහළ කළහ.
භික්ෂුණි ශාසනය පිහිටුවීමට සහායවූත් ආනන්ද හිමි යන් වෙත ප්‍රජාපති රහත් මෙහෙණින් වහන්සේගේ මහත් ගෞරවයක් විය. ‘බුද්ධ මාතා’ නම් ගෞරව නාමයෙන්ද ප්‍රකට අප රහත් මෙහෙණින් වහන්සේ ලෝ සසුනට මහත් සේවාවක් සිදු කළහ.
එකසිය විසිවන වසරේදී ආයු සංස්කාරය හළ අතර එතුමිය සමගම පිරිනිවන් පාන බව පැවසූ භික්ෂුණීන්. පිරිස පිරිවරාගත් එතුමිය ශාන්ත ගමනින් කුටාගාර ශාලාවට පැමිණ බුදු සිරිපා නමදිමින් “ළදරු කළ සිට හැදු අයුරුත්, යම් දොසක් වීනම් සමාව දෙන ලෙසත්, යළි යළිත් පැවිද්ද ඉල්ලීම ගැනද සමාව දෙන ලෙසත් අයැදුහ’.
බුදුහිමි අවසර පරිදි අසිරිමත් පෙළහර පා අවසන් වරටද සිරිපා වැඳ පිරිනිවන් පෑමට පන්සියයක් භික්ෂුණින් සමග අරම වෙත පිටත් වූ අතර බුදුහිමි ඇය පසුපස මද දුරක් වැඩම කළේ බුද්ධ මාතාවට ගෞරව වශයෙනි. එදිනට පිරිනිවන් පෑ එම භික්ෂුනින් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය බුදුරජාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් අසිරිමත් අන්දමින් සිදුවූයේය.
කාන්තාවනට සිය අධ්‍යාත්මික විමුක්තිය උදාකර ගැනීමට පහසු මං පෙත් සලසමින් භික්ෂුණී ශාසනය බිහිකළ චිරරාත්‍රඥ භික්ෂුණින් වහන්සේලා අතර අග්‍ර මහා ප්‍රජාපති ගෝතමි රහත් මෙහෙණින් වහන්සේ සදානුස්මරණීය වන්නාහ.
Read More »

චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්‍ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි. බුදු දහම භාරතය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වත්ම, බ්‍රාහ්මණ, ජෛන ආදී අන්‍යගාමික අනුගාමිකයෝ බුදු සසුනේ පැවිදි වූහ. බොහෝ දෙනා බුදු දහම පිළිගත්හ. ඇතැම් අවස්ථාවල දී අන්‍යාගමික නායකයෝ පවා බුදුරදුන්ගේ බණ අසා බෞද්ධ උපාසකයන්, හා පැවිදි ශ්‍රාවකයන් බවට පත් වූහ. ඔවුන්ට තම, අභිමතය පරිදි බුදු දහම කැමැති නම් පිළිගැනීමටත්, අකැමැති නම් නොපිළිගැනීමටත් නිදහස තිබිණි.


කිස්තු පූර්ව හය වන සියවසේ ඉන්දීය සමාජය තුළ විවිධ ආගමික හා දාර්ශනික මතවාද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතිණි. මේ යුගයේ අනෙකුත් සියලු ආගමික මතවාද පසුබස්වමින් මුළුමහත් සමාජය තුළ ආධිපත්‍යය තහවුරු කරගෙන සිටියේ ඊශ්වර නිර්මාණවාදය යි. මුළු මහත් සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර යනුවෙන් කුල හතරකට බෙදා දැක් වූ බමුණෝ එය මහා බ්‍රහ්මයාගේ මැවීමක් ලෙස ඉදිරිපත් කළහ. තම මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බව ප්‍රකාශ කළ ඔවුන් ඒ ඒ කුලයන්ට නියමිත කාර්ය, සිය අභිප්‍රාය මත වෙන් කර දැක්වූහ. සමාජයේ ඉහළම ගෞරව වරප්‍රසාද ලැබිය හැකි කාර්ය බමුණන් තමන් වෙත පවරා ගත් බව පෙනෙයි. ඒ බව ‘සෘග් වේදයේ දහ වන මණ්ඩලයේ’ එන

“අධ්‍යයන මධ්‍යපනං
යජනං යාජනං තථා
දානං ප්‍රතිග්ගහං චෛව
බ්‍රාහ්මණං මකල්පයත්’

යන පාඨයෙන් පැහැදිලි වෙයි. මේ අනුව ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, දන් දීම හා දන් පිළිගැනීම බමුණන් සතු කාර්ය විය. රාජ්‍ය පාලනය පිළිබඳ කටයුතු ක්ෂත්‍රිය කුලයටත්, ගව පාලනය, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම ආදී කටයුතු වෛශ්‍ය කුලයටත් උපතින්ම වෙන් විය. ක්ෂුද්‍ර කුලය අනෙක් කුල තුනෙහි අයට ඊර්ෂ්‍යා නොකර දාසකම් කළ යුතු විය.එයට හේතුව ලෙස බමුණන් ප්‍රකාශ කළේ ක්ෂුද්‍රයන් මහා බ්‍රහ්මයාගේ දෙපතුලෙන් උපත ලැබීම යි. මේ ආකාරයට පුද්ගලයාගේ දක්‍ෂතාව හැකියාව පිළිබඳ අවධානය යොමු නොකොට ඒ ඒ පුද්ගලයාගේ උපත පදනම් කරගෙන කළ යුතු කාර්ය නිර්ණය කොට තිබිණි. මේ නිසා පුද්ගල හැකියා දක්‍ෂතා එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා විය. නව අදහස් සිතුම් පැතුම් අනුව ක්‍රියා කිරීමට ඇති අවකාශයට දොරගුළු ලා තිබිණි. ප්‍රශ්න කිරීමට තර්ක කිරීමට නිදහස් චින්තනයට තහනම් නියෝග නිකුත් වී තිබිණි. මෙලෙස පුද්ගල නිදහස සීමා කරමින් ස්වකීය ආධිපත්‍යය සමාජය තුළ තහවුරු කර ගනිමින් බමුණන් ප්‍රභූත්වයෙන් සිටි යුගයක බුදුසමයේ උදාව සිදු විය. සමාජය දැඩි ලෙස පීඩාවට පත් කළ ඊශ්වර නිර්මාණවාදය ප්‍රතික්‍ෂේප කළ බුදු හිමියෝ නිදහස් චින්තනයට මූලිකත්වය දෙන දහමක් දේශනා කළහ. පන්සාළිස් වසරක් මුළුල්ලේ බුදුරදුන් ඉදිරිපත් කළ සූත්‍ර දේශනා කුළ චින්තන නිදහස අගය කොට ඇති ආකාරය පැහැදිලි වේ.
“මජ්ඣිම නිකායේ දෙව්දහ සූත්‍රයේ දී” බුදුරදුන් තමන් කියනදේ පමණක් සත්‍ය යැයි ද අන් සියල්ල බොරු යැයි ද මම නොකියමි යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු ලෙස තමා පවසන දෙය ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඒ පිළිබඳ විමසා බලා පිළිගැනීමට පුද්ගලයාට ඇති නිදහසට බුදුරදුන් ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති ආකාරය යි. තත් කාලීන බමුණු පූජකයන් මෙන් තමා සර්ව බලධාරී දෙවි කෙනෙකු ලෙස හඳුන්වා නොගත් බුදුහිමියෝ තම අදහස් බලෙන් පුද්ගල මනසට පැටවීමට උත්සාහ නොකළහ. තමා ගැලවුම්කරුවකු හෝ සර්ව බලධාරී නායකයකු ලෙස නො පිළිනොගත යුතු බවත්, තමන් හුදෙක් මාර්ගය පෙන්වා දෙන ගුරුවරයකු පමණක් බවත්, එය පිළි ගැනීම හෝ නොපිළිගැනීම තමාට අයත් කාර්යයක් බවත් ප්‍රකාශ කළහ.

“තුමේහභි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා” යනුවෙන් ධම්මපදයේ ඒ බව දක්වා තිබේ.

ප්‍රජාතාන්ත්‍රික සංකල්ප ගරු කළ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් ධර්මය ඕනෑම පුද්ගලයකුට කැමැති පරිදි පිළිගැනීමට අවකාශය දුන්හ. නමුත් විමසා බලා නිවැරැදි දැකීමෙන් ම ධර්මය අවබෝධ කළ යුතු බව පෙන්වා දුන්හ. බුදු රදුන් දේශනා කළේ “ඒහි පස්සිකෝ” යනුවෙනි. එනම් ‘පැමිණ බලන්න’ එබැවින් බුදුදහම පිළිගැනීම සඳහා නොවේ. මුළු බුදු දහමම ප්‍රඥාවෙහි ප්‍රතිඵලය වූ සැබෑ දැන ගැනීම, දැක ගැනීම, යථාභූත ඥානය ඉලක්ක කොටගත් ප්‍රතිපදාවකි.

“පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤූහී ති”

යන දේශනාවට අනුව ධර්මය නුවණැත්තන් විසින් ප්‍රතිවේධයෙන්ම දැනගත යුතු ය. සතර මහෝපදේශ දේශනා කරමින් බුදුරදුන් ප්‍රකාශ කළේ අසවල් විහාරයේ නායක තෙරුන්ගෙන් මම මෙය අසා දැන ගතිමි, කියා හෝ අසවල් විහාරයේ නායක තෙරුන්ගෙන් මම මෙය අසා දැන ගතිමි, කියා හෝ අසවල් විහාරයේ උගත් ධර්මධර විනයධර තෙර නමකගෙන් මම මෙය අසා දැන ගතිමි කියා හෝ කිසිවක් පිළිනොගන්නා ලෙස යි. අදාළ ගැටලුව විමසා බලා එය ධර්මය හා විනය සමග සංසන්දනය කොට එහි නිවැරැදි බව තමන් විසින්ම අවබෝධ කර ගත යුතු බවයි.
බුදු දහමේ එන චින්තන නිදහස වඩාත් ඉහළින් පිළිබිඹු වන අවස්ථාවකට නිදසුනක් ලෙස ‘කාලාම සූත්‍රය’ දැක්විය හැකි ය. එහිදී බුදු රදුන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ‘කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්‍රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි. චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්‍ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි.
බ ුදු දහම භාරතය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙත්ම බ්‍රාහ්මණ, ජෛන ආදී අන්‍යගාමික අනුගාමිකයෝ බුදු සසුනේ පැවිදි වූහ. සෙස්සෝ බුදු දහම පිළිගත්හ. ඇතැම් අවස්ථාවල දී අන්‍යාගමික නායකයෝ පවා බුදුරදුන්ගේ බණ අසා බෞද්ධ උපාසකයන්, බෞද්ධ ශ්‍රාවකයන් බවට පත් වූහ. ඔවුන්ට තම, අභිමතය පරිදි බුදු දහම කැමැති නම් පිළිගැනීමටත්, අකමැති නම් නොපිළිගැනීමටත් නිදහස තිබුණි. වාද විවාද, තර්ක විතර්ක පවත්වා, බුදු දහම පිළිබඳ ගැටලු විමසා දැනගැනීමට බුදුරදුන් සෑම විටම අවස්ථාව ලබා දී ඇත.
කිසිදු අන්‍යාගමික සාමාජිකයකු බලෙන් බුදු දහමට අවනත කර ගැනීමේ ප්‍රයත්නයක් බුදුන් වහන්සේ තුළ නොවී ය. “උපාලි සූත්‍රය” එයට කදිම නිදසුනකි. නිගණ්ඨනාථපුත්තගේ ප්‍රබල අනුගාමිකයකු වූ උපාලි ගෘහපතියා බුදුරදුන් සමග තර්ක කිරීමට ගොස් පරාජය විය. අවසානයේ දී සත්‍යය වටහා ගත් හෙතෙම තමන් බෞද්ධ උපාසකයකු ලෙස පිළිගන්නැයි බුදු රදුන්ගෙන් තෙවරක්ම අයැද සිටියේ ය.
බුදුරදුන් ඔහුට පවසා සිටියේ තමාට එය සත්‍ය යැයි හැඟේ නම් පමණක් පිළිගන්නා ලෙස යි. අන්‍යාගමිකයන් වෙත පවා දැක් වූ සහනශීලී පිළිවෙත තවදුරටත් සනාථ වන්නේ, උපාලි ගෘහපතියා, බෞද්ධාගමිකයකු වීමෙන් පසු ද බුදුරදුන් දෙන උපදේශය තුළිනි. එනම්, උපාලි, මෙතෙක් ඔබේ නිවස නිගණ්ඨයන්ට පැන පිරුණු පොකුණක් බඳු විය. බුදු සමය වැළඳ ගත්ත ද ඔබගේ ශාස්තෘවරයාට කළ සත්කාර සම්මානවලින් අඩුවක් නොකරන්න. ඔබගේ ශාස්තෘවරයාට පෙරසේම සලකන්න. යනුවෙනි.
බුදුරදුන් පිරිනිවන් මඤ්චකයෙහි දී හැසිරුණු විලාශය තුළින් ද චින්තන නිදහස ගරු කළ ශාස්තෘවරයකුගේ ගති ලක්‍ෂණ ප්‍රකට විය. ගිලන් වී වෙහෙසට පත්ව ජීවිතයේ අන්තිම හෝරාව ගෙවමින් පිරිනිවන් මඤ්චකයේ වැතිර සිටි බුදු හිමියෝ එම මෙහොතේ පවා ශ්‍රාවකයන්ගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වූහ. මේ සියලු කරුණු තුළින් තහවුරු වන්නේ පුද්ගලයාට තම මනස, ප්‍රඥාව මෙහෙයවා ස්වාධීනව සිතීමේ හා ක්‍රියා කිරීමේ නිදහස කුමන අවස්ථාවක හෝ උල්ලංඝනය කර නොමැති බවත්, චින්තන නිදහසට බුදුසමය තුළ සුවිශේෂ ස්ථානයක් හිමිව තිබෙන බවත් ය.
Read More »

සිංහල බෞද්ධ සාහිත්‍යයේ අගනා ධර්ම ග්‍රන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය හැදින්විය හැකිය. දඔදෙණි යුගයේ විසූ ධර්මසේන මාහිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය උගත් නූගත් සියල්ලන්ගේම රසවින්දනයට පාත්‍ර වූවකි. දඹදිව සිදු වූ කථා ප්‍රවෘත්තින් වුවද, මෙරට පොදු ජන සමාජය තුළ භාවිතා වූ උපමා රූපක ආදිය යොදා ගනිමින් ලාංකේය සමාජයේම අත්දැකීමක් බවට පත් කරන්නට උත්සාහ දරා ඇත.


විශේෂයෙන් තමා කියන්නට උත්සාහ කරන දෑ උපමා රූපක මගින් පැහැදිලි කිරීමට උන් වහන්සේ උත්සාහ දරා ඇත. හාස්‍ය රසය , උපහාස රසය ආදි විවිධ රසයෙන් යුත් ඒ ඒ අවස්ථාවට උචිත එමෙන්ම පහසුවෙන් වටහා ගත හැකි උපමා රූපක භාවිතා කර ඇති අන්දම සද්ධර්ම රත්නාවලිය පුරාම ඇති විවිධ කතා වස්තූන් තුළින් පැහැදිලි වේ.
සද්ධර්ම රත්නාවලියේ එන කතා වස්තූන් අතරින් ඉතාම රසවත් කතා වස්තුවක් ලෙස මට්ටකුණ්ඩලී කතා වස්තුව දැක්විය හැකිය. කතුවරයා විසින් යොදාගෙන ඇති උපමා රූපක වල රසවත් බව නිසාම එය වරක් කියවූ පාඨකයා නැවත වරක් කියවයි. මෙහි විස්තර වන අදින්නපුබ්බක සිටාණෝ දැඩි මසුරෙකි. ඔහුගේ මසුරුකම කොතෙක්දැයි විස්තර කරන කතුවරයා තණපත අග තැවරුණ තෙල් බිදුවක තරම් දෙයක් වත් අනුන්ට නොදෙන බව පවසයි. හෙතෙම තම වස්තුව විය පැහැදම් කිරීමට දැක්වූ දැඩි ලෝභය නිසා තම එකම පුතුට කුණ්ඩලාභරණයක් සාදා දීමට රන්කරුවකු කැදවීමට බිය වෙයි. රන්කරුට වැය වන මුදල ඉතිර කර ගනිමින් තෙමේම එම කාර්යය සිදු කරයි. ඔහුගේ එම මෝඩ ක්‍රියාව ධර්මසේන හිමියන් විසින් උපහාසයට ලක් කර ඇත්තේ අකුරු ලියන සේ නොදත්තවුන් පත්වල හිරි අදනා සේ යනුවෙනි. අකුරු ලියන්නට නොදන්නා කෙනෙක් පොතක් ගෙන ඉරි ඇන්දත්, එහි අකුරක හැඩය හෝ නිවැරදි අකුරක් ලියවෙන්නේ නැත. අදින්නපුබ්බක සිටාණන් කළ කාර්යයද එබදුමය. හෙතෙම රත්රන් ටිකක් ගෙන තලාපියා ආභරණයක් තැනවුවද, එහි ශිල්පියකු විසින් කළ ආභරණයක ඇති සියුම් බව මටසිලුටු බව හුරුබුහුටි බව නොමැත. එය පැළදීමෙන් පසු ඔහුගේ පුතුට මට්ටකුණ්ඩලී යනුවෙන් නමක් පට බැඳුණා පමණි.
තමන්ගේ එකම පුතු වූ මට්ටකුණ්ඩලී රෝගාතුර වන්නේ ද නිසි ප්‍රතිකාරයක් කිරීමට අදින්නපුබ්බක මුදල් වියදම් නොකළ නිසාය. වෙදුන් කැඳවා ප්‍රතිකාර කිරීමේදී මුදල් වියදම් වන නිසා හෙතෙම ගොඩේ වෙදුන් සොයා ගොස් අසවල් ලෙඩේට කුමන බෙහෙතක් සුදුසුදැයි අසා දැන ගැනීමට උත්සාහ කරයි. ඔහුගේ මසුරුකම වටහා ගන්නා වෙදුන්ද පාණ්ඩු රෝගයට නොව වෙනත් රෝගයක් සඳහා භාවිතා කරන ඖෂධයක නම ඔහුට කියයි. ඒ පිළිබඳ විශ්වාස කරන හෙතෙම එම බෙහෙත් ගෙනවිත් තලා අඹරා පුතුට පොවයි. එම නොගැළපෙන ප්‍රතිකාරය කතුවරයා පැහැදිලි කර ඇත්තේ රසවත් උපමා තුළිනි. එනම් “ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනා සේ “ ඇස සරසන්නට තොල අදුන් ගානා සේ “ යනුවෙනි.
සද්ධර්ම රත්නාවලියෙහි එන තවත් රසවත් කතා පුවතක් නම් ථුල්ලතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතයි. වත් පිළිවෙත් කිරීමට සුදුසු තරුණ , කාලයෙහි ගිහිගෙයි ගතකොට මහලු කල පැවිදි වූ උන් වහන්සේ උපහාසයට ලක්කොට ඇත්තේ ඔබ වැළිත් ගොයම් කළ මනාවක තිබියදී කල් පසුකොට කරන ගොයමක් සේ යනුවෙනි. කුඹුරකින් සරු අස්වැන්නක් ලැබීමට නම් නිසි කලට බිජුවට වැපිරිය යුතුය. කල් පසුකොට බීජ වැපිරීමෙන් සරු අස්වනු ලැබිය නොහැක. සසුනෙහි පැවිදිව එහි පිළිවෙත් ගරු ධර්ම අවබෝධ කර ගැනීමට නිසි කාලයක් ඇත. සාමාන්‍ය ජනතාවට සමීප ජීවන වෘත්තියක් වන කෘෂිකර්මාන්තය ආශි‍්‍රත උපමාවක් යොදා ගනිමින් දහම් පණිවිඩයක් දීමට උන් වහන්සේ ගත් උත්සාහය සාර්ථක වී ඇත.
ථුල්ලතිස්ස කතා පුවතේ අතීත කතා වස්තුවද රසවත් උපමා රූපකවලින් සැරසුණකි. අතීත කතා වස්තුවට අනුව එහි එන නාරද හා දේවල තවුසන් දෙදෙනා අතර ඇතිවන මත ගැටුමේදී දුසිල්වත් දේවල තවුසා නාරද තවුසාට සාපයත් කරයි. එහෙත් එම සාපය පෙරලා සාපය කළ තැනැත්තා වෙතම ගොස් පල දෙන බව නුවණැති නාරද තවුසා දකියි. එය ධර්මසේන හිමියන් දක්වා ඇත්තේ දෙනුන් හැදින වස්සන් යන්නා සේ යනුවෙනි. ‘උඩු සුළගට දැමූ රොඩු දැමුවන්් කරාම යන්නා සේ “ යනුවෙනි. වසු පැටවුන් කිරි සුවද ඔස්සේ තම මව හදුනාගෙන ඔවුන් වෙතම දිව යති. උඩු සුළඟට රොඩු දැමු කළ ඒවා ආපසු ඇද වැටෙන්නේ දැමු පුද්ගලයා වෙතමය. එසේම දුසිල්වත්ව සිටිමින් දේවල තවුසා කල සාපය පෙරළා ඔහු වෙතම ඇදෙයි. අවසානයේදී සාපයෙන් මිදීමට සිල්වත් නාරද තවුසාගෙන් සමාව ගැනීමට දේවල තවුසාට සිදු වෙයි. මෙය කතුවරයා දක්වා ඇත්තේ “ සමහර විෂයක් බානා කල දෂ්ඨ කළ සර්පයා ලවාම උරවා ගන්නා සේ “ යනුවෙනි.
සද්ධර්ම රත්නාවලියෙහි එන සිරිගුත්ත කතා වස්තුවෙන් සැවැත් නුවර විසූ මිතුරන් දෙදෙනෙකු ගැන කියැවේ.මිතුරන් වුවත් දෙදෙනාගේ ගති පැවතුම් එකිනෙකට වෙනස් ය. සිරිගුත්ත ඉතා පවිත්‍ර වූ අදහස් ඇත්තෙකි. ගරහදින්න ඉතා පවිටු අදහස් ඇත්තෙකි. මොවුන් දෙදෙනාගේ චරිත ලක්ෂණවල වෙනස උපමාවන් තුළින් ගෙනහැර දක්වා ඇත්තේ මෙසේය.පවිත්‍ර වූ අදහස් ඇති සිරිගුත්ත ‘රාජහංසයින් පියුම් වල ඇලෙන්නා සේ” යනුවෙනි.පවිටු අදහස් ඇති ගරහදින්න “ ගම් හුරන් කසලගොඩ ඇලෙන්නා සේ, යනුවෙන් පවිටු අදහස් ඇති දෑ වෙතම ඇති නැමියාව පැහැදිලි කර ඇත.
සද්ධර්ම රත්නාවලියෙහි එන ගංගාරෝහණ කතා වස්තුවෙන් විශාලා නුවර ඇති වූ තුන් බිය පිළිබඳ විස්තර වේ. රෝග බිය අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය නිසා නගරය තුළ වූ විපතින් මිදීමට පිළියම් සෙවීමේදී යමෙක් යෝජනා කරනුයේ ෂඩ් ශාස්තෲන් එම නගරයට වැඩම කළහොත් එය නිම වන බවයි. නමුත් එසේ කලත් කිසිදු වෙනසක් සිදු නොවීය. මේ ක්‍රියාව දුටු එක් නුවණැති පුද්ගලයෙක් පවසන්නේ බුදු රදුන්ට මෙම කාර්යය කළ හැකි බවත් එබදු හැකියාවක් ඇති උතුම් පුද්ගලයෙක් සිටියදි ගැටලුවට පිළියමක් නොවන ප්‍රතිකර්ම යෙදීම උපහාසයට ලක්කොට ඇත. “පාන ඇවිලෙමින් තිබියදී ගිනි සොයා ගොසින් කණමැදිරියකු දැක ගිනි යැයි සිතා පිඹින්නාක් වැන්න “ යනුවෙනි. කිරෙන් ප්‍රයෝජනයක් ඇති විටෙක දෙනගෙන් දෙවගන්ට පිළිවන්ව තිබෙන මොළොක්ව තිබෙන තන තිබියදී කොතෙක් වේලා දෙවයත් අතට වන ආයාස පමණක් මුත් කිරක් නැති භග අල්වාගෙන සැලෙන්නවුන් වැන්න “ යනුවෙනි.
සද්ධර්ම රත්නාවලියෙහි එන සිරිමා වස්තුව තුලින් මනුෂ්‍ය ශරීරයෙහි ඇති අනිත්‍ය බව වටහා දෙන්නට ගත් උත්සාහයක් කැපී පෙනේ. සිරිමා මළ කල්හි ඇය ආදාහනය නොකොට ඇගේ දේහය අමු සොහොනකට ගෙන ගොස් බලු කපුටු ආදින්ගෙන් හානියක් නොවන ලෙස තැබීමට බුදු රදුන් උපදෙස් දෙයි. දින තුනක් ඉක්ම ගිය කල්හි ඇගේ සිරුර ඉදිමි කුණු වී පණුවන් වැගිරෙන්නට විය. එම අවස්ථාව අපුර්ව මනෝ චිත්‍රයක් මැවෙන අයුරින් දක්වා ඇත. සියල් සිරුරත් බිදී ගිය හැල් සාලේ බත් සැළියක් මෙන් විය යනුවෙනි. හැල් සාලේ බත් සැලිය කලු පාටය.
බත් ඇය සුදු පාටය. එය බිම වැටී බිදුන කල බත් ඇට තැන තැන විසිරේ. සිරිමාවන්ගේ ශරීරයෙන් පණුවන් පිට වන්නේ ද එලෙසිනි.
මේ ආකාරයෙන් රසවත් උපමා රූපක යොදා ගනිමින් උගත් නූගත් සියල්ලන්ගේම රසවින්දනයට බාධාවක් නොවන පරිදි අගනා දහම් පණිවිඩයක් සමාජය වෙත තිළිණ කිරීමට සද්ධර්ම රත්නාවලි කතුවරයා අනුගමනය කළ ක්‍රමවේදය අතිශයින් ප්‍රශංසනීයය.
Read More »

ජනතාව දැනුමෙන් සදාචාරයෙන් හා රසාත්මක බවින් පෝෂණය කරන සාහිත්‍යයද බුද්ධාගමෙන් පෙන්වා දුන් මාර්ගයේම ගමන් ගත් බව පෙනේ. සම්භාව්‍ය ගද්‍ය රචකයෝ මෙන්ම පද්‍ය රචකයෝද බුදු සිරිතත් බෝසත් සිරිතත් සිය නිර්මාණවලට වස්තුකර ගත්හ. එවන් නිර්මාණ කිරීමට තරම් දැනුමත් කුසලතාත් නොමැති වුවද ජන කවියෝද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ අමතක නොකළ බව බොහෝ ජනකවි නිර්මාණවලින් පෙනේ.


ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය වීමත් සමග සංස්කෘතියේ සියලු අංගෝපාංග බෞද්ධ මුහුණුවරකින් හැඩ ගැසෙන්නට පටන් ගත්තේය. ජනතාව දැනුමෙන් සදාචාරයෙන් හා රසාත්මක බවින් පෝෂණය කරන සාහිත්‍යයද බුද්ධාගමෙන් පෙන්වා දුන් මාර්ගයේම ගමන් ගත් බව පෙනේ. සම්භාව්‍ය ගද්‍ය රචකයෝ මෙන්ම පද්‍ය රචකයෝද බුදු සිරිතත් බෝසත් සිරිතත් සිය නිර්මාණවලට වස්තුකර ගත්හ. එවන් නිර්මාණ කිරීමට තරම් දැනුමත් කුසලතාත් නොමැති වුවද ජන කවියන්ද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ ජන කවියන්ද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ අමතක නොකළ බව බොහෝ ජනකවි නිර්මාණවලින් පෙනේ.
ජන කවිය ජන අවිය සමග තදාත්මිකව බැඳී පවතී. සාම්ප්‍රදායික කවි කල්පනාවලින් පිරි සම්භාව්‍ය කාව්‍යය විදග්ධයන්ගේ මනදොළ සපුරාලුවා සේම ජන කවිය පොදු ජනතාව අතරින් බිහි වී පොදු ජනතාවම රසයෙන් පුරවාලීය. තම දිවි පෙවත තුළ දෛනික කටයුතුවලදී තම හදවතේ් පැන නැගුණු අදහස් කියා පෑමටත් පාලුව කාංසිය මගහරවා ගැනීමටත් ජන කවියෙන් ලැබුවේ අපමණ සේවයකි. ඊට බෞද්ධ ස්වරූපයක් ආරෝපනය කිරීමෙන් බුදු දහමින් උගන්වන මෛත්‍රීය උපේක්ෂාව හා අටලෝ දහමින් නොසැලෙන බව පලට කිරීම ජනකවියාගේ අරමුණ වූ බවද පෙනේ. එසේම සම්භාව්‍ය කාව්‍යයට සමගාමීව ජනකවියද ව්‍යවහාරයේ පැවැතියේ ය.
කෙතක ගොයම් රැකි ගෙවිලියන් තාලයට ගයන ලද බුදුගුණ ගී අසා භික්ෂූන් වහ්නසේ හැට නමක් රහත් වූ බවද නෙළුම් විලක මල් නෙලූ දැරියන් ගැයූ බුදුගුණ ගීයක් ඇසූ තිස්ස නම් භික්ෂුවක් රහත් වූ බවද බුදුගොස හිමියෝ කියති. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියූ කවීන් අතරද ජන කවියන් සිටි බව
නිල් කට්රොල් මලෙකැ ඇවුණු වැට් කොල්මල් සෙයි
දැන් දැගැ සිහි වන්නෙයි මහනිල් වනක් හයිරන් වන්හුන්
යන ගීයෙන් පෙනේ.
පොදු ජනතාව තම දිවි පෙවෙතත් බුදුදහමත් එකක් කොට සැලකූ®හ. ඒ නිසාම ඔවුන් අතරින් පහළ වූ ජන කවියන්ද සිය සිතැගි පැවසීමේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත් තම ට්ත්තාභ්‍යන්තරයේ පැවති ගෞරවය සිහිපත් කිරීමට අමතක නොකළහ. ගොවිතැන, ආශි‍්‍රත කවි, ජන කවි අතර බෙහෙවින් දක්නා ලැබේ. වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය පතමින් ගොවියා කරන ගොවිතැන අපේක්ෂා නොකළ පරිදි නියඟින් විනාශ වී යයි. තමන්ගේ පමණක් නොව තම අඹුදරුවන් ගේ ද කුසගිනි නිවාලනු සඳහා මහත් වෙහෙස දරා කරන ලද කුඹුරු පාලුවීම ඔහුට ඉවසිය නොහැකි වේදනාවකි. සංසාරය මෙවන් දුක් වේදනාවලින් ගහන වූවක් බවත්, ඇති එකම පිළියම නිවන් දැකීම බවත් බුදුදහමින් ඔහුට උගන්වා ඇත. එය තම එකම අපේක්ෂාව බව කවියා පවසන්නේ මෙසේ ය.
කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද     පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැසිපල      නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද             දකින්නේ

තවත් ගැමියෙකු තම කෙත පාලුවීමෙන් උපන් වේදනාව බුදුරජාණන් වහන්සේට පවසමින් තම දුක නිවා ගන්නේ මෙසේය.
පාට හොඳයි පැලවෙන ගොයමේ  නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ        රොල්ල
යාල දෙගොඩ හඬනා මැඩියන්  ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු         මුල්ල

නිල්ල වැසී ගිය තම කෙත වට මහ වැස්සෙන් පාලු වී ගිය බව කවියා කියයි. ඔහුට පිහිටට ඇත්තේ දෙවියන් බුදුන් පමණි. දුකක් කරදරයක් පැමිණි විට බුදු හිමියන් සිහිපත් වීම බොදු ගැමියාගේ ආවේනික පුරුද්දක්ව ඇති බව මෙයින් පෙනේ.
අම්මා ගෙදර බුදුන් සේ සැලකීම බොදු සිරිතය. අම්මාට සැලකීම බුදු හිමියන්ට කරන සැලකීමක් සේ ගැමියා සිතයි. මෙය සෙසු සමාජයට ද සිහිපත් කරදීමට ජන කවියා උත්සාහ ගනියි. ඔහු ඒ සඳහා වස්තු කොට ගන්නේ අපූරු සිදුවීමකි. කුසගිනි වූ මවක සිය බාල පුතාගේ ගෙදරට යයි. ඇය අපේක්ෂා කළේ ආහාරයකි. නමුත් සිය බිරියගේ උපදෙස් පිළිපැදි පුතා තම මවට වී ස්වල්පයක් මල්ලක දමා දෙයි. මෙය දුටු ජන කවියා අයියාගේ මුවට ආරෝපනය වෙමින් මෙසේ කියයි.
මල්ලියෙ ඔහොම නොකරන් අපෙ    අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අපි             දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි       දෙන්නාට
බුදුන් වඳින ලෙස වැදපන්               අම්මාට

තමාට පිහිට තමාම යයි බුදු දහමින් උගන්වයි. එහෙත් ලාංකික බෞද්ධයෝ තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමටද බුදුරදුන්ගේ පිහිට පතති. දරුවන් නොලද කාන්තාවක් තමන්ට පුතෙකු ලබාදෙන ලෙස ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ මහත් බැතියෙනි.
ගෙදර සිටන් පේවි පේවි තිසා වැවට   යන්ඩයි
තිසා වැවේ රතු නෙළුමේ බත් බෙදාන කන්ඩයි
එතැන සිටන් පේවි පේවි උඩමලුවට      යන්ඩයි
උඩ මලුවේ බෝ රජුනේ පිරිමි පුතෙක් දෙන්ඩයි

මෙය බෞද්ධයන්ගේ විශ්වාසයය. ජන කවියාගේ් මුවින් පිට වූ මේ වදන් සෙස්සන්ටද කදිම මග පෙන්වීමක් බව පෙනී යයි.
ගැමියෝ නිතර පන්සල් යති. මල් පහන් පුදති. බණ අසති. තම දිවිපෙවෙත යහපත් සේ ගත කරයි. එහෙත් ගැමියන් අතර වුව සමහරු නමින් බෞද්ධයෝ වෙති. බණ දහම් ගරු නොකරති. ඔවුන් පින්මද වුන් ලෙස ජන කවියා දකින්නේ් තමා තුළ ඇති බැතිමත් බව නිසාය.
පීල්ලේ යටට කළයක්                 තිබුවත්
නොපිරේ කළේ සැට පැයකින් බැලුවත්
පින් මද එකා බණ දහමින්     වෙලුවත්
උගේ ගතිය ඌ නොහරී          මැරුවත්

ආගම දහමට ගරු නොකරන අය ජන කවියා අවඥාවට ලක්කරන අයුරු කදිමය. ජන කවියාගේ බොදුනු සිත ඇදී ගියේ මිනිසුන් ගැහැණුන් වෙත පමණක් නොවේ. තිරිසන් සතෙකුගේ දුක පවා ඔහුගේ සිත කම්පනයට පත් කෙළේය. සියලු සතුන්ට මෛත්‍රී කරන්නැයි පැවසෙන දහම් පදය ඔහුට සිහිවෙයි
මියගිය මුව දෙනකට තුසිත පුරේ සුව ප්‍රාර්ථනා කරන කවියා මියගිය තලගොයි පැටියෙකුට බුදුන්දැක නිවන් දකින්නැයි ප්‍රාර්ථනා කරයි.
ඈත හිටන් දුව ගෙන ආ මුව     වැස්සී
අපේ ගමේ වැව් කන්දෙන්    පෙරලිච්චී
දරුවා නොවෙයි මරුවා බඩට  වෙච්චී
තුසිත පුරේ බණ අහපත් මුව     වැස්සී


මං බාලේ ඇතිකළ තල ගොයි    පැටියා
මගෙ තනියට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඇවිදින් ඌ අරන්        ගියා
නිවන් පුරේ දැකපන් තල ගොයි  පැටියා


තමන් ගේ දිවි ගැට ගහ ගැනීමට හැමදාම ගැමියාට පිහිටවූයේ කෙතය. මහත් බලාපොරොත්තු ඇතිව කුඹුරු කරන ගොවියා ඉන් වැඩි අස්වැන්නක් අපේක්ෂා කරයි. ඒ නිසාම කෙත කමත, බැත දෙවියන්ට සේම බුදුන් වහන්සේට ද බාර කරයි. එපමණක් නොව ධර්මය හා සංඝයාටද බාර කරයි. මේ එවන් ගැමියෙකුගේ මුවින් පිට වූ වදන් වැලකි.
බුදුන් වඩින මේ          කමතට
සදුන් සුවඳ ඉතිරෙයි        වට
යොදුන් උසට තිබෙන  බැතට
බුදුන් අනින් එයි          කමතට

තවත් කවියෙකු කමත පසේ බුදුරදුන්ට බාර කරන්නේ මෙසේය.
මේ කමතා කයෙ    කමතා
පසේ බුදුන්ගේ        කමතා
පසේ බුදුන් දුන්නු     බැතා
අද පුරවන් මේ       කමතා

හේන් ගොවිතැනෙහි නිරත වන ගොවියාට රාත්‍රි කාලයේ පැල් රැකීමට සිදුවේ. පැල් රැකීම අතිශයින් වේදනාකාරි අත්දැකීමකි. තම නිවසින් දුර බැහැර වන සතුන් පිරි වනමැද හේනක පැලක රැය ගත කරන ගැමියාගේ සිත පාලුවෙන් බියෙන් පිරී යයි. ඇතැම් සතුන්ගේ හඬ පවා ඔහුට බිය දනවන සුළුය. උලලේනා එවන් සතෙකි.
ඔහුගේ් හඬ දෙසවන් වැකීම නුදුරු මහ විපතක නිමිත්තක් කොට ගැමියෝ සලකයි. එවන් අවස්ථාවක ඔහු පලවා හැරීම සඳහා ගයන කවිවලදී ද ආගම දහම සිහිපත් කිරීම ගැමියාගේ සිරිතය. එවන් අවස්ථාවක් ජන කවියාගේ් මුවින් ගිලිහී ඇත්තේ මේ අයුරිනි.
උලලේනිය උලලේනිය නාඬ           බොලේ
නාඬ ඉන්න තොට බලයක් ඇතිය බොලේ
අනඳ මහ තෙරිඳු පටියෙන් බැන්ද බොලේ
බුදුනි නමෝ උලලේනි නාඬ           බොලේ

තරගයට තේරවිලි කියමින් ඒවා තෝරමින් තම පාලුව කාංසිය නිවා ගැනීමද සතුටක් ලැබීමද ගැමියාගේ් පුරුද්දය. තම දැනුම උරගා බැලීමක්ද මෙයින් කෙරේ. එකෙකු තම සගයාට තේරවිල්ලක් කීවේ මෙසේය.
අහසේ තරු මනින කෙන්ඩිය     කියන්නේ
පොළවේ වැලි මනින කෙන්ඩිය කියන්නේ
මුහුදේ දිය මනින කෙන්ඩිය       කියන්නේ

පසේ බුදුන්ගේ මුත්තා                කියන්නේ
කවියා තම මිතුරාගේ දහම් දැනුම විමසා බැලීම අපේක්‍ෂා කළ සේය. ඔහුට අවශ්‍ය වූයේ තුන් සරණය මතක් කරදීම හා එය සෙසු රසිකයාට ද ලබාදීමය. ඊට පිළිතුරු දෙන අනෙකා මෙසේ කියයි.
අහසේ තරු මනින කෙන්ඩිය බුද්දං      සරණේ
පොළවේ වැලි මනින කෙන්ඩිය ධම්මං සරණේ
මුහුදේ දිය මනින කෙන්ඩිය සංඝං        සරණේ
පසේ බුදුන්ගේ මුත්තා තුන්                     සරණේ


බුදුරජාණන් වහන්සේත්, බුදුදහමත් මේ රටේ සිංහල ගැමි හදවතේ් බැතිමත් බවින් තැන්පත්ව ඇති අයුරු හඳුනා ගැනීමට ජනකවිය ද මහාර්ඝ වස්තුවකි.
Read More »

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි......

මෙම මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සතර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩසිට බුද්ධකෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඬලෙන් උපන් ක්ෂීණාශ්‍රව මහ රහතන් වහන්සේලා විසින් , ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මඟින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩ ව, අවිච්ඡින්න ව, පාරිශුද්ධ ව පවත්වාගෙන එන ලද්දේ ය.
එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහරහතන් වහන්සේලා විසින් ධර්ම සංගායනා මඟින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනූභාව සම්පන්න ව බැබලෙමින් පවතින කල්හි යළිත් එයට අනතුරු පහළ වූ වි ධර්මාශෝක අධිරාජයා ගේ සහායයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවෙන් යළිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුළ පතුරුවා හැරීමේ පරම පිවිතුරු හැඟීමෙන් යුතු ව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.
එහිදී අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ නිකෙලෙස් ළය මඬලෙහි උපන් බුදු පුතුනුවන් වහන්සේ නමක් වූ හැම කල්හි පිවිතුරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහ රහතන් වහන්සේ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමඟ මෙම ශ්‍රී ලංකාවට එවා වදාරණ ලද්දාහු ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරන ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අප ගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකවත් වූයේ ය.
උතුම් බුදු සසුන රක්ෂිත ව ගෝපිත ව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත් ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථිය පිණිස ම වන්නේ ය.” කියා ලක්දිව ඒකඡත්‍ර කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඬුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇති එක්තරා අනාගත වාක්‍යයක් කියන්නට ලැබුනේ ය.
එය වනාහි දෙවනපෑතිස් රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද අනාගත වාක්‍යයකි.එනම් “පින්වත් මහරජාණෙනි, තොප ගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. “එමෙන් ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නොයෙක් මාණික්‍යන්ගෙන් විභූෂිත වූ නවමහලින් සුසැදි ලෝවාමහප්‍රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය.” මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණී අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතු ව පී‍්‍රතියෙන් උද්දාම ව අත්පොලසන් දුන්නේ ය. ඉක්බිති මහමෙව්නා උයනට රහතුන් වහන්සේලා ප්‍රධාන භික්‍ෂු සංඝයා රැස් කරවා “පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලා ගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා”.
එකල්හි භික්‍ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහුය. එහිදී භරණී නම් දෙව් දුව ගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැකගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේ ද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනි ව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳ ව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතොමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශනීය වූ දිව්‍ය විමානයක උපන්නා ය.
එකී දිව්‍ය විමානයෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හි දහසක් දෙවඟනන් විසින් පිරිවරන ලද්දීය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යමය දිව්‍යප්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කුටාගාර දහසකින් සැරසුනේ ය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වුයේ ය.
සීහපංජරකාවාට නමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූශිත වූ අම්බට්ඨික නම් වූ ප්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුව ගේ ප්‍රාසාදය දැක ගන්නට ලැබුණි. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය වස්ත්‍රයක සටහන් කොට භික්‍ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක.
එකල්හි එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින් ම පැහැදී නවමහල් ලෝවාමහාප්‍රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පත්වා අපමණ පී‍්‍රතියට පත් වූයේ ය. ඉක්බිති දුටුගැමුණු නිරිඳුන් ලක්‍ෂයක් රන් කහවනු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියන්නට ලැබුණේ ය. එහි සඳහන් වූයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍ය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.
එකල්හි පී‍්‍රතිප්‍රාමෝද්‍යයෙන් යුතු රජතුමා එදින රාත්‍රියේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. “මම් වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ! එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදුවලින් නො පෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි” සිතමින් සිටියේ ය.
එකල්හි මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව එකරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථූපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ “එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන් ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි” පවසා සිටියේ ය.
පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගැඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්තප්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන් ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තන්හි ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහු ය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහු ය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියලු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.
අනුරපුරෙන් නැගෙනහිර දිශායෙහි සත්යොදුනක් ගිය තන්හි මහවැලි ගඟෙන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහාසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතට යොදුනක් ගිය තන්හි සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තන්හි අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස්යොදුනක් ගිය තන්හි උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලු ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය.
අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියබෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියලු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වූයේ ය.
මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියලු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල් වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නො කරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන් ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත් ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමා ගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇය ගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිත ව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.
එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.
අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප්‍රාඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙනා කල්හි නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ
සියුම් මැටි සෘද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසුදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මග සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිඟු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියලු සිදුරු වැසෙන්නට ඒ මත නවතීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වූ ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුවක මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරියල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය.
මේ ආකාරයෙන් ගෞතම බුදුරජුන් කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතු ව අප ගේ දුටුගැමුණු මහරජාණන් ඒ රිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලි මහා චෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වා” යි ආදර බැතියෙන් යුතුව භික්‍ෂු සංඝයාට ඇරැයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද “පින්වත් ජනයනි, සෙට දිනයේ අප ගේ බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා” යැයි කියා සිටියේ ය.
ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මඟ දෙපස අලංකාර කරවා මහා විහාර භූමියට ඇතුලු වන නුවර සතර දොරටුවෙහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත්‍ර තබන ලද්දේ ය. ප්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වී සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප්‍රාප්ත වන කල්හි සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කන්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහරේ ඉදිරිපස ගමන් කලාහු ය.
ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබූ ක්‍ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක්දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.
විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්‍ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසබෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්‍ඛිත රහතන් වහන්සේ තිස් දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්‍ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත්‍ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තණ්ණ රහතන් වහන්සේ එක්ලක්‍ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්‍ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.
පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්‍ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ධ්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනූසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නො හැක්කේ ම ය.
මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිරිඳානෝ ශ්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව සුවඳ මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටවන බිමට පැමිණියාහු ය. ඒ බිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳීන ලද රිදියෙන් නිම වූ සීමා දණ්ඩ ගෙන චෛත්‍යය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේ ය. එහිදී එහි ප්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේ ය. නො පසුබට වීර්යය ඇති ශ්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දා වූ රනින් රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය.
එකල්හි දුටුගැමුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේ ය. අනතුරුව රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවා ය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයන් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණ මාලී මහා ස්ථූපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන් ගේ සිත් නිවන් මඟට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේත. ඒ දේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වූවාහු ය. දහසක් ගිහි ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහ අට දහසක් භික්‍ෂූන් වහන්සේලාද, දහ හතර දහසක් භික්‍ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වූවාහු ය.

මහාසෑයේ ධාතු ගර්භය කරවීම

ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමා ගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස දහඅට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය.
අනතුරුව දුටුගැමුණු මහ නිරිඳානන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් බැල්ම හෙළන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. “පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දර සෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමි යි” එම වඩුතුමා පැවසූ කල්හි නරේන්ද්‍ර තෙමේ අතිශයින් ම සතුටට පත් වූයේ ය.
සැදෑහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නො පෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේ දැයි සිත සිතා සිටින කල්හි ඒ ඒ දිනයට වුවමනා සියලු ගඩොල් දේවානුභාවයෙන් මහා සෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේ ය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින්ම සන්තෝෂයෙන් යුක්ත වූයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නො කළ යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒ ඒ දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත්‍රාභරණයන් ද ප්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විළවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ බෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය නිර්මාණය කරවන්නා වූ සියල්ලන්ට ම අනුකුල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.
Read More »

මහා පරිනිර්වාණ සූත්‍රය දීඝ නිකායේ මහාවග්ගයට අයත් සූත්‍රයකි. එම සූත්‍රය ආගමික, සංස්කෘතික, ඓතිහාසික වටිනාකමක් ඇති සූත්‍රයකි. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිතේ අවසාන භාගය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයට අන්තර්ගත වී ඇත. බුදුන් වහන්සේ පන්සාලිස් වසක් දඹදිව නොයෙක් ස්ථානයන්හි, නොයෙක් පුද්ගලයන් පිළිබඳව දේශනා කළ ධර්මයන්හි කෙටි හැඳින්වීම් හෙවත් ඒ ධර්ම දේශනාවන්ගේ මාතෘකා පාඨ පමණක් මහාපරිනිර්වාණ සූත්‍රයේ දී මතක් කර දුන් බව ප්‍රකාශ වේ. බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී කළ දේශනාවන් විශාල සංස්කෘතික වටිනාකමක් ඇති ඒවා බව තේරුම් ගත හැකිවන්නේ එම දේශනාවන් විමසා බැලීමෙන් ය. එසේම එම දේශනාවන් විශාල පශ්චාත්කාලීන බෞද්ධ කලා ශිල්පයන්ගේ මූලාරම්භයට මෙන්ම එහි වර්ධනයට හේතු වූ බව පෙනේ. බෞද්ධ සංස්කෘතික ජීවිතය කෙරෙහි ද මහාපරිනිර්වාණ සූත්‍රයේ එන දේශනාවන් උපයෝගී වී ඇත.


මහා පරිනිර්වාණ සූත්‍රයේ දී භික්‍ෂු සමාජය හා ගිහි සමාජය වශයෙන් සමාජ දෙකක් දැක්වේ. භික්‍ෂු සමාජයේ හැඩ ගැස්මට හා අභිවර්ධනයටත් ගිහි සමාජයේ දියුණුවටත් උපයෝගී වන ධර්ම දේශනා, උපදෙස්, අවවාද, මහා පරිනිර්වාණ සූත්‍රය තුළින් එළි දැක්වේ. අපරිහානිය ධර්ම ධම්මදාස, අභිහායතන, අෂ්ට විමොක්‍ෂ, චතුරාර්ය සත්‍ය, සතර මහා පදෙස, යනාදී දේශනා ඉතා වැදගත් ය. එසේම මේ සූත්‍රයේ එන ආශ්චර්ය අද්භූත, මාරකථා විස්තරය, දේව බ්‍රහ්ම විස්තර කුකුත්‍ථතා නදියෙන් ගෙනෙන ලද, පැන් පිරිසුදු වීම යනාදී තොරතුරු වර්තා, පසුකාලීනව මහායාන ඉගැන්වීම්වල මුලාරම්භ අවස්ථාවක් හෝ මහායාන අදහස් මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් වීමක් හෝ ලෙසට සිතීමට ඉඩ දෙයි. මේ සූත්‍රයේ සඳහන් වන ස්ථාන හා ග්‍රාම, නගර යනාදියද ආවසථාගාරය, රාජගාරය යනාදී ගොඩනැගිලි පිළිබඳ තොරතුරු ඓතිහාසික මෙන්ම සංස්කෘතික අතින් ද උසස් ස්ථාන ලෙස සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ වැඩ සිටින අවස්ථාවේදී අජාසත් රජුගේ වස්සකාර බමුණා හමුවෙහි ආනන්ද හිමියන් අමතා වජ්ජින්ට දේශනා කළ අපරිහානිය ධම්ම හත නැවතත් දේශනා කළහ. වජ්ජීන්ට මේ අපරිහානිය ධර්මදේශනාව කළේ, බුදුරජාණන් වහන්සේ වරක් වේසාලියේ සාරන්දද චෛත්‍යයේ වැඩ සිටිද්දී ය. වජ්ජීන්ට, ලිච්ජවීන් යයිද ව්‍යවහාර කරති. ඔවුහු සමුහාණ්ඩු ක්‍රමයක් ඇතිව සිටියෝ ය. එසේම ඔවුන්ගේ බලයද විශාල වන අතර සමගිය නිසාම ඔවුන් පිරිහෙලීම අපහසු බව සඳහන් වේ. බුද්ධ කාලීනව ඉන්දියාවේ ගණ තන්ත්‍ර රාජ්‍යයක් ඇතිව සිටියෝ වජ්ජිහු ය. ඔවුන් බුද්ධ කාලයටත් පෙර සිට උසස් ගුණධර්මයන්ගෙන් යුක්තව විසූ බව සඳහන් වේ. එබඳු උසස් පිරිසකට බුදුන් වහන්සේ අපරිහානිය ධර්මයන් දේශනා කළහ. එම ධර්මය නැවත මහා පරිනිර්වාණ සූත්‍රයේ දී වස්සකාර බමුණා හමුවේ දේශනා කරන්නේ එම ධර්ම කාරණා හතෙහි ඇති වැදගත් කමත්, ඒවා පිළිපදින්නේ ඉක්මනින් පරිහානිය කරා ළඟා නොවන බවත් ප්‍රකට කිරීමට ය.
එම අපරිහානිය ධර්ම හත වජ්ජීන් පිළිපැදීම නිසා ඔවුන්ගේ පිරිහීමක් නොවුන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. සාමාජික වශයෙන් සලකා බලන විට මෙම වජ්ජි ධර්ම කවර සාමාජයටත් ගැලපෙන අතර එම සමාජ සංස්ථාවන්ගේ අභිවෘද්ධියට මේ කාරණා මහත්සේ බලපාන බව පැහැදිලි වේ.
“සාමග්‍රිය, නිත්‍යානුකූල වීම, වැඩිහිටියන්ට සැලකීම, කුලකාන්තාවන්ට රැකවරණය කිරීම, පූජනීය ස්ථානයන්ට (චෛත්‍ය, දේවාල ආදියට) ගරු කිරීම, පූජ්‍ය පක්‍ෂයට ගරු සම්මාන දැක්වීම” යන මූලික කරුණු පෙරදැරිකොට මෙම අපරිහානිය ධර්ම බුදුන් වහන්සේ දේශනා කළ බව පෙනේ. එම උසස් ධර්මතාවයන් කවර සමාජයකට වූවද කවර රටකද වූවද කවර කාල පරිච්ඡේදයකට වූවද එසේ බලපාන කරුණු ය. ඒ නිසා සංස්කෘතික අතින් විශාල වටිනාකමක් මේ වජ්ජීන්ගේ අපරිහානිය ධර්ම තුළින් උද්ගත වන බව පැහැදිලි ය.
වජ්ජීන්ට දේශනාකළ අපරිහානිය ධර්මයන් උපයෝගී කර ගෙන බුදුරජාණන් වහන්සේ මහ පරිනිර්වාණ සූත්‍රයේ දී, භික්‍ෂූන් උදෙසා ද අපරිහානිය ධර්මයන් දේශනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ වජ්ජි ධර්මය අනුව යමින් මුල් අපරිහානිය ධර්ම හත දේශනා කළහ.
භික්‍ෂුන් නිතර එක්වීම, බහුලව එක්වීම.
භික්‍ෂූන් සමගිව එක්වීම, සමගිව නැගි සිටීම, සමගිව සංඝ කෘත්‍යයන් කිරීම, මෙයින් භික්‍ෂු සමාජයේ සමගිය අපේක්‍ෂා කර ඇත. කෝසම්බි, ධම්මචේතිය යනාදී සූත්‍රවලින් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙත් “සුඛා සංඝස්ස සාමගගි” යන අදහස ප්‍රකාශ කොට ඇත. බුදුන් වහන්සේ සමහර විනය නීති පවා භික්‍ෂූන් වහන්සේගේ සමගිය උදෙසා පනවා ඇත. මහාවග්ග පාලියේ උපොසථක්‍ඛන්‍ධයේදී “අනුජානාමි භික්‍ෂවෙ වාතුද්දසේ පණ්ණජසෙ පක්ඛමියාව අට්ඨමියං සන්නි පතිත්වා” යනාදී ක්‍රමයට රැස්වන ලෙස විනය ශික්‍ෂා පද දේශනා කළේ සමගිය උදෙසා ය. මේ අන්දමට භික්‍ෂුසංඝයාගේ සාමගි‍්‍රය බුදුන් වහන්සේ බලවත් සේ අපේක්‍ෂා කර ඇත.
භික්‍ෂූන් නොපැන වූ නීති නොපැන වීම, පැන වූ නීති නොසිඳීම.
භික්‍ෂූන් වැඩිමහලු සංඝ ස්ථවිරයන් වහන්සේලාට ගරු කිරීම, පිදීම හා ඔවුන්ගේ වචන ඇසිය යුතු බව සිතීම.
භික්‍ෂූන් තණ්හාවගේ වසඟයට නොපැමිණීම.
භික්‍ෂූන් ආරණ්‍යසේනාසන්නයන්හි සාපේක්‍ෂව වාසය කිරීම.
භික්‍ෂූන් සබ්‍රහ්මචාරිව වාසය කිරීම, ආගන්තුක සත්කාර කිරීම.
යන මේ සප්ත අපරිහානිය ධර්ම භික්‍ෂු සමාජයේ අභිවෘද්ධිය සඳහා දේශනා කර ඇති බව පෙනේ. එම සප්ත අපරිහානිය ධර්ම පොදු භික්‍ෂු සමාජයේ දියුණුවට අදාළ වන කරුණු ය. වජ්ජි ධර්මය මෙන්, ඒවාද සමාජ ධර්මයක් ලෙස සිතිය හැක. බුදුන්වහන්සේ භික්‍ෂූන් උදෙසා අපරිහානිය ධර්ම හතක් පමණක් දේශනාකර නොනැනවතී, තවත් අපරිහානිය ධර්ම (7) හතේ කොටස් හතරක් ද (6) හයේ කොටස් 1 ක් ද වශයෙන් අපරිහානිය ධර්ම (41) හතලිස් එකක් දේශනා කළහ.
බුදුන් වහන්සේ ඊළඟට දේශනා කළ අපරිහානිය ධර්ම (7) භික්‍ෂූන්ගේ බාහිර කරුණු පිළිබඳවය.
එම අපරිහානිය කරුණු බොහෝ විට භික්‍ෂු සමාජයෙන් පරිබාහිර කරුණු කෙරෙහි යොමු වූවා සේ පෙනේ. භික්‍ෂූත්වයට නොගැලපෙන කටයුතුවලට භික්‍ෂූන් නොයැදී සිටීම දියුණුවට හේතුවක් බව දක්වා වදාළහ. ඒ හැර අධ්‍යාත්මික දියුණුව භික්‍ෂූන් තුළ ඇති කර ගැනීමට උපකාරී වන අපරිහානිය ධර්ම ඊළඟ කොටස් වලින් පැහැදිලි කොට ඇත. “ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බාහුසචිඡය, උට්ඨාන වීර්ය, පිහිටුවා ගත් සිහිය, ප්‍රඥවන්ත බව“ යහ කරුණු (7) හතත් “සති, ධම්මච්චය, වීරිය, පී‍්‍රති, පස්සධි, සමාධි, උපේක්‍ඛා යන බොජ්ඣංග ධර්මයනුත්, “අනිච්ච, අනාත්ම, අසුහ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ යන සප්ත සංඥා වනුත්, කය, වචනය, සිත, යන ද්වාරත්‍රය සංවර කර ගැනීම හා ලද දෙය සාධාරණව බෙදා ගැනීම, සිල් වලින් සමානාත්වයට පත්වීම, සාමාන්‍ය දෘෂ්ටියෙන් සමානව විසීම, යන කරුණු (6) හයත්, භික්‍ෂූන් වහන්සේලාගේ අභ්‍යන්තරික ගුණ වගාව පිණිස අපරිහාණිය ධර්ම මාර්ගයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ විසින් අවධානය කොට ඇත. අපරිහානිය ධර්මයන් යම්තාක්කල් භික්‍ෂූන් අතර පවතී නම් ඒතාක් කල් භික්‍ෂූන්ගේ දියුණුවක් මිස පරිහානියක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. භික්‍ෂූන්ගේ අභ්‍යන්තර හා බාහිර දියුණුව පිණිස උපයුක්ත අපරිහානිය ධර්ම දේශනා කළ අතර බුද්ධ ධර්මයේ නිවන් අවබෝධ කිරීමට උගන්වා වදාළ, කය, වචනය, සිත, සංවරණය පිණිස උපකාරී වන ධර්ම පටිපාටිය අපරිහානිය ධර්මයන්හිලා ඉගැන්වීම වැදගත් ය.
බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී බොහෝ තැන “ඉති සීල, ඉති සමාධි, ඉති පඤ්ඤා, සීල පරිභාවිතො සමාධි මහ පඵලො හොති, මහානි සංසො, සමාධි පරිභවිතා පඤ්ඤාම මහප්ඵලා හොති මහානිසංසා, පඤ්ඤා පරිභාවිතං ට්ත්තං සම්මදේව ආසාවෙහි විමුච්චති සෙය්්‍යටිදං කාමසවා, භවසවා, (දිටිඨසවා) අවිජ්ජාසවාති” යන දේශනාව බහුලව කළ බව පෙනේ. බුද්ධාගමේ මූලික පදනම සීල, සමාධි, ප්‍රඥා තුනයි. මේ කාරණා තුන එකිනෙකට සම්බන්ධ වන බව හා ඒ හේතුකොට ගෙන කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වන ආකාරයත් පැහැදිලි කොට ඇත. මේ ධර්ම තුන මත සියලු බුද්ධ ධර්මය පදනම් වී ඇති බව හා සියලු බුද්ධදේශනාවන් එම ශීල සමාධි ප්‍රඥායන ධර්ම තුනට අඩංගු වන බව පැහැදිලි වෙයි. එසේම බුද්ධාගමේ උගන්වන ආර්යඅෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා තුනට බෙදෙන අතර ඒ ආර්ය මාර්ගය පිළිපැදීමෙන් සීල, සමාධි, ප්‍රඥා යන තුන වැඩේ. ඒ නිසා නිර්වාණබෝධය සිද්ධවන්නේ ය. මේ ත්‍රිශික්‍ෂාවට මුළු මහත් බුද්ධ ධර්මයම අන්තර්ගතය. කය, වචනය, දෙක හික්මීම සීලයෙනුත්, සිත හික්මීම සමාධියෙනුත් සිදු කෙරෙන අතර සීල සමාධි දෙක හේතු කොට ගෙන නිර්වාණාවබෝධ ප්‍රඥාව ලැබෙන්නේ ය.
බුදුරදුන් නාලන්දාවෙහි වැඩ වාසය කරද්දී සැරියුත් හිමියන් බුදුරදුන් හමුවට ගොස් බුදුන් වහන්සේගේ සම්බෝධිඤාණය පිළිබඳ කරන වර්ණනාව සිංහ නාදයක් ලෙස උන්වහන්සේ සලකා ඇත. එහිදී සැරියුත් හිමියන් “ධර්ම අනුවෘත්තිය” ගැන කියයි. දීඝ නිකායේ සම්පසාදන සූත්‍රයේත්, සංයුත්ත නිකාය මහා සතිපට්ඨාන සූත්‍රයේත්, ධර්මාශෝක රජුගේ බාභෲ සෙල් ලිපියේත්, මෙම බුදු වරුන් පිළිබඳ වර්ණනාව සඳහන් වන්නේ ය. බුදුන් වහන්සේ හා සැරියුත් හිමියන් අතර කෙරුණු මෙම සංවාදය අතීත, වර්තමාන අනාගත යන කාලත්‍රය පිළිබඳව වූ බුදුවරුන් සිහිපත් කරයි. ඒ බුදුවරුන්ගේ ගුණ ප්‍රකාශ කරන අතර සම්බෝධි ඥානය ගැනද විස්තර වේ.
බුදුරජාණන් වහන්සේ පාටලීගම ආවසථා ගාරයේ වැඩ සිටිද්දී පාටලිගම උපාසක වරුන් උදෙසා සීලවිපත්ති දෝස පහකුත්, සීල සමාපත්ති ගුණ පහකුත් දේශනා කළහ. ඒ ගම උපාසක වරුන් අවසථා ගාරය සැරසූ ආකාරය ඉතා විසිතුරු ය. ආවසථාගාරය නම් අමුත්තන්ට හෙවත් ආගන්තුකයන්ට නවාතැන් දෙන ස්ථානයයි. මෙම ස්ථානය රෙදි අතුරා, අසුන් පනවා, පැන් පෙරා තබා, තෙල් පහන් දල්වා, අලංකාර කොට ඇත. මේ අන්දමට අදත් භික්‍ෂූන් වහන්සේ සඳහා ගිහි අය නවාතැනක් හෝ ධර්මදේශනා ස්ථානයක් සකස් කරන විට මේ ආකාරයට කටයුතු කරන බව පෙනී යයි. බෞද්ධ සම්ප්‍රදායක් ලෙස මේ අවාස, ආසන, පහසු සැලසීමේ දී අනුගමනය කළ වැඩ පිළිවෙල එදා සිට අද දක්වාම නොනැසී පැවතීගෙන එන බව ප්‍රකට ය. එය වැදගත් සංස්කෘතික ලක්‍ෂණයකි.
බුදුරදුන් පාටලී ගම උපාසකයන් අරභයා සීල විපත්ති දෝස පහ දේශනා කරමින් දුස්සීලයා 1. භෝග විනාසයට පත්වේ, 2. අපකීර්තියට පත්වේ, 3. නිතර බියෙන් හා ලජ්ජාවෙන් යුක්ත වේ, 4. මුළාව මැරෙයි, 5. මරණයෙන් මතු අපායේ උපදියි. යන දුර්විපාක සීල විපත්තියට පත් දුස්සීලයාට ලැබෙන බව දේශනා කළ සේක. මෙසේ දේශනා කළ උන්වහන්සේ සීලවන්තයා ලබන්නා වූ සම්පත් පහක් ද දේශනා කළහ. 1. මහත් භෝග ලබයි, 2. කීර්තිය වැඩෙයි, 3. ලජ්ජාව හා බියක් නොමැතිව පිරිස් ඉදිරියට යයි, 4. නොමුලාව මැරෙයි, 5. මරණින් මතු ස්වර්ගයේ උපදියි, මේ අන්දමට සීලවන්තයාගේ ගුණ පැහැදිලි කොට පාටලී ගම උපාසක වරුන්ට සිල්වත් වීමේ වැදගත් කම දක්වා වදාළහ. බුදුන් වහන්සේ සිල්වත්කම උසස්කොට දේශනා කළ ශාස්තෘවරයෙකි. උන්වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සිල්වත්කම ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වා ඇති බව නොයෙක් දේශනාවන්ගෙන් පැහැදිලි වන්නේ ය.
බුදුන් වහන්සේ භණ්ඩ නාම ග්‍රාමයේදී භික්‍ෂූන් අමතා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කළ සේක. චතුරාර්ය සත්‍ය අවබෝධ සහ ප්‍රතිවේධ නොකිරීම නිසා බොහෝ කළක් මමද ඔබද සසර සැරිසැරූ බව දැක්වූහ. දුක්ඛ සමුදය, නිරෝධය මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම සසරින් එතෙර වී නිවන් ලැබීමට හේතු වන බව පැහැදිලි කළ සේක. මෙයින් බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීත් සූත්‍ර පිටකයේ නොයෙක් තැනදීත්, භික්‍ෂූන් උදෙසා ද ගිහියන් උදෙසා ද දේශනා කළ චතුරාර්ය සත්‍ය දේශනාව ඉතාම ලුහු¼ඩින් දේශනා කළ ස්වරූපයක් දක්වයි. බුදුන් වහන්සේ ආර්ය සත්‍යය ධර්මයට උපයෝගී වන පරිදි සෑම දේශනාවක්ම කර ඇත. ඒ නිසා මහාපරිනිර්වාණ සූත්‍රයේදී එය අවසාන වශයෙන් මතක් කර දුන්හ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ නාදිකාවේදි ආනන්ද හිමියන් විසින් සාළ්හ නන්ද සුදත්ත, යනාදි භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා මරණින් මතු කොහි උපන්නේදැයි ඇසූ ප්‍රශ්නය අරභයා ‘ධම්මදාස’ ධර්ම න්‍යාය දේශනා කළහ.
එම ධම්මදාස මගින් උන්වහන්සේ පැහැදිලි කළේ නව අරහාදි බුදු ගුණයත්, ෂට් විධ ධම්ම ගුණයත්, නව විධ සංඝ ගුණයත් යන සුවිසි මහා ගුණයන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව සිටි කෙනෙකු මරණයට පත් වුවහොත් ඔහු අපායගාමි නොවී යහපත් පුනර්භවයක් ලබන බවය. රත්නත්‍රය කෙරෙහි ස්ථිරසාර ශ්‍රද්ධාව (අවෙච්චපස්සාදන ශ්‍රද්ධාව) ඉතා උසස් බවත්, අපාය ගාමි නොවී සුගති සංඛ්‍යාත වීමට මෙන්ම සෝවාන් ආදි මාර්ගඵල පිළිවෙලින් ලැබීමට ද එය උපස්ථම්භක වන බව විස්තර කොට දක්වා ඇත.
වේසාලියේදි බුදුන්වහන්සේ විසින් සිහියෙන් හා නුවණින් යුක්තව විසීමේ අගය දක්වන ලදී. සිහියෙන් යුක්තව විසීම හා අර්ථ අනර්ථ වැටහෙන නුවණින් යුක්තව විසීම මෙලොවත් පරලොවත් අභිවෘද්ධි දායක ගුණයක් බව ප්‍රකාශ කොට ඇත. මෙහි අගය සාමාජික වශයෙන් වුවද ඉතා විශාලය. සිහි අඩුකම තමාගේ් මෙන්ම, අනුන්ගේද පිරිහීමට විනාසයට කාරණයක් වන්නේ ය. එසේම යමක් තේරුම් ගැනීමේ නුවණක් නොමැති කමද නොයෙක් අන්දමේ පිරිහීම් වලට හේතුවක් වෙයි. ප්‍රඥාගෝචරව කටයුතු කිරීම දියුණුවට උපස්ථම්භක වෙයි. අභ්‍යන්තර හා බාහිර දියුණුව ප්‍රඥාව උඩ රැඳී පවතී. ඒ නිසා එහිදී තථාගතයන් වහන්සේ භික්ෂූන්ට කළ එම දේශනාව ඉතා කෙටි වුවත් එහි අගය නිමක් නැත.
බුදුන් වහන්සේ බේලුව ගමේදී වේශාලිය අසල මිත්‍ර විශ්වාස දැක පුරුදු භික්ෂූන් සමඟ වස් වසන ලෙස භික්ෂූන්ට නියම කළහ. එයින් පෙනී යන්නේ මිත්‍ර බව, විශ්වාසි බව දැක පුරුද්ද එකට වාසය කිරීමට උපකාරි වන බවයි. තම තමාගේ සුඛ විහරණය සඳහා එබඳු මිත්‍ර පිරිස් උපස්ථම්භක වන බව ප්‍රකට කළහ. බුද්ධාගම මිත්‍රත්වය උඩ රැඳුනක් නිසා එම අවවාදය ඉතා අගනේය.
එසේම බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා කළ ප්‍රකාශය ඉතා වැදගත් එකකි. ‘ආනන්ද භික්ෂු සංඝයා මගෙන් කුමක් බලාපොරොත්තු වෙද්ද? ආනන්දය, මා විසින් ඇතුලත් හෝ පිටතත් නොතබා මාගේ දහම දෙසන ලදී. ආනන්ද තථාගතයන්ගේ් දහමින් ගුරු මුෂ්ටියක් හෙවත් නොකියා රහස් වශයෙන් ඉතුරුකරගත් දෙයක් නැත. ආනන්ද යමෙකුට මම භික්ෂූ සංඝයා පරිහරණය කරන්නේ්නම් කියා හෝ භික්ෂූ සංඝයා මා උදෙසා වසන කියා හෝ අදහසක් ඇද්ද? ඔහු ඒකාන්තයෙන්ම භික්ෂු සංඝයා අරභයා කිසිවක් කියන්නේ ය. ආනන්ද තථාගතයන්ට මම භික්ෂූ සංඝයා පරිහරණය කරන්නෙමි කියා හෝ භික්ෂූ සංඝයා මා උදෙසා වසන කියා හෝ අදහසක් නැත’ මේ පාඨය අනුව බුදුන් වහන්සේගේ නිහතමානිත්වය කැපී පෙනෙන්නේය. බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදී ශාස්තෲවරයන්් වහන්සේ නමකි.
ඒ නිසා උන් වහන්සේ කිසිම දෙයක් සඟවා නොතබා සියල්ල දේශනා කළහ. එසේම තම ශ්‍රාවක පිරිස තමා උදෙසා බැඳගෙන තබා ගැනීමටද කල්පනා නොකළහ. භික්ෂු සංඝයාට ස්වාධිනත්වය පැවරූහ. ඒ කාරණය තවදුරටත් ඔප්පු වන්නේ බේලුව ගමේදී ‘යෙ කෙචි ආනන්ද එතරහිවා මමංවා අවිජයෙන අත්තදීප විහාරස්සති අත්ත සරණා අනඤ්ඤ සරණ ධම්ම දීපා, ධම්ම සරණා අනඤ්ඤ සරණා තමතගේග මෙ තෙ ආනන්ද භික්ඛු භාවිස්සති යෙකෙ සික්ඛා කාමාති’ යනුවෙන් කළ අනුශාසනා වෙනි. තමාට තමාම පිහිට කරගෙන අනුන් පිහිට කර නොගෙන ධර්මය පිහිට කරගෙන වාසයකරන ලෙස භික්ෂූන්ට අවවාද කළහ. බුදුන් වහන්සේ මාර්ගය කියා දෙන්නෙක් මිස ගැලවුම් කාරයෙක් නොවෙන බව උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත. ‘තමාට තමාම වගකිව යුතුය’ යනු උන්වහන්සේගේ අවවාදයයි. බුදුරදුන් ජීවමාන කාලයේත් ඉන් පසුත් එම අවවාදය පිළිපදින ලෙස මතක් කළහ.
අංගුත්තර නිකායේ ‘කාලාම’ සූත්‍රයෙන්ද බුදුන් වහන්සේ නිදහස් සිතුවිල්ලට ප්‍රධාන තැනක් දී ඇත. එහිදී උන්වහන්සේ කාලාමවරුන්ට පෙන්නා දුන්නේ ආගම් ඉතිහාසයේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන අපූරු උපදේශයකි.
එම කාලාම සූත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීනත්වය පිළිබඳව කාරණා විස්තර කොට දක්වා ඇත. ඒ අයුරින්ම නිදහස් සිතුවිල්ලට ප්‍රධාන තැනක් දෙමින් බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ‘මහා පදෙස’ විස්තරය කර ඇති බව පෙනේ.
ඒ මහා පදෙස දේශනා කිරීමෙන් උන්වහන්සේ ජනතාවට බුදු දහමෙන් ලැබෙන විශිෂ්ඨ ස්ථාන පැහැදිලි කළ සේක. පුද්ගලයන් හතර දෙනෙක් දක්වා ඔවුන්ගේ් මතකයන් හෝ කියමන් හෝ අනුශාසනා හෝ ඒ අයුරින්ම පිළිනොගෙන ප්‍රතික්ෂේප නොකර සූත්‍රයට, විනයට ගැලපේනම් පමණක් පිළිගන්නා ලෙස අවවාද කළහ. එසේ ස්වාධීන කල්පනා කර බුද්ධ දේශනාවන් හා සසඳා බලා (පොත් පත් හා සසඳා බලා) පිළිගන්නා ලෙස කළ අවවාද අනාගත බුදු සසුනේ චිරස්ථිතියට හා ආරක්ෂාවට ලොකු පිටුවහලක් වූ බව පෙනේ. ‘මේ සහනශීලිත්වය වූ කලී බෞද්ධ සංස්කෘතියෙත් බෞද්ධ සභ්‍යත්වයේත් ආරාමයේ පටන්ම පැවති විශිෂ්ඨ පරමාදර්ශයක්’ බව වල්පොළ රාහුල හිමි කියයි. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී භූමිකම්පා ඇතිවීමට හේතුඅටක් දක්වා ඇත.
වාතයත්, ජලයත් හේතුකොට ගෙන පොළොව කම්පා වේ. මහා සෘද්ධි ඇත්තෙකුට පොළොව කම්පා කළ හැක. බෝසතුන් මව් කුස පිළිසිඳ ගැනීම, මව් කුසින් බිහිවීම, බුද්ධත්වයට පත්වීම, ධර්ම චක්කප්පවත්ත සූත්‍රය පැවැත්වීම, ආයු සංස්කාරය අත්හැරීම, පිරිනිවන් පෑම යන හේතු අට හා ප්‍රත්‍ය අට මුල්වීමෙන් පොළොව කම්පා වන බව ප්‍රකාශ කොට ඇත. එම දේශනාවෙන් බෝසතුන් පිළිබඳව හා බුදුන් පිළිබඳව විශාල වටිනාකමක් ඇති බව ප්‍රකාශ වේ. එයින් පසු උන්වහන්සේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි පිරිස් අටක් දක්වා ඔවුන් හමුවට ගිය විට ඔවුන් අමුත්තන් නොවන පරිදි එම පිරිසේ ඵම කෙනෙකු ලෙසින් ධර්ම දේශනා කළ බව දක්වා ඇත.
එම විස්තරයෙන් හා භූමි කම්පාව පිළිබඳව කෙරෙන විස්තරයෙනුත් බුදුන් පිළිබඳ අති මානුෂිකත්වය ප්‍රකාශ වේ. උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයට හෙවත් මිනිස් සමාජයටම අයත් කෙනෙකු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ කීප පොලකින් ආවරණය වෙයි.
එහෙත් බුදුන් වහන්සේ වදාල ‘අභි භායතන’ අට වැදගත් වේ. එමගින් විරුද්ධ ධර්ම හා අරමුණු මඩින එසේම යෝගාවචරයාගේ ස්වාමීත්වය පෙන්වන කරුණු විස්තර කර දක්වයි. කෙලෙස් තැවීමට යෝගාවචරයා වඩන්නා වූ යෝග ක්‍රමයන්ගේ හෙවත් ධ්‍යාන භාවනා ක්‍රමයන්ගේ වැදගත්කම හා අධ්‍යාත්ම ජීවිතයේ විමුක්තිය අවධාරණය කරන පිළිවෙල විස්තර කෙරේ. එයින් අනතුරුව අෂ්ට විමොක්ෂ (සමාපත්ති) විස්තර කර ඇත.
මනාව මිදීම ලක්ෂණය කොට ඇති සමාපත්ති හෙවත් ධ්‍යාන භාවනා කිරීම නිසා ලබන අෂ්ට සමාපත්ති පිළිබඳ පූර්ණ හැඳින්වීමක් මෙයින් ඉදිරිපත් කර ඇත.
මෙම අභිභායතන හා අෂ්ට විමෝක්ෂයන්ගෙන් බුද්ධාගමේ ‘චරන’ පක්ෂය පැහැදිලි කරයි. බුද්ධාගමේ ඇත්තේ දාර්ශනික පක්ෂය පමණක් යැයි කියන අයට මෙම ඉගැන්වීම හොඳම පිළිතුරකි. මේ ගැඹුරු දේශනා දෙකෙන් නිවන් අවබෝධ කිරීමට පිළිපැදිය යුතු ප්‍රතිපදා මාලාවක් විස්තර කර දක්වන අතර සංඥා වේදයිත නිරෝධය උගන්වා ඇත.
බුදුන් වහන්සේ මහාවන කූ®ටාගාර ශාලාවේදී භික්ෂූන් අමතා දේශනා කළේ, පන්සාලිස් වසක් උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හොඳින් ඉගෙන ඒවාට අනුව පිළිපැදීම දෙවි මිනිසුන්ගේ හිත වැඩ පිණිස පවතින බව ප්‍රකට කිරීමටයි. උන්වහන්සේ ලෝකයාට හිත වැඩ පිණිස දේශනා කළ ‘සතර සතිපට්ඨාන, සතර සම්ම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පංච බල, සතර බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් එහිදී මතක් කර දී ඇත. මුළු මහත් ධර්මයම මේ සත්සිත් බෝධි පාක්ෂික ධර්මයන්ට අඩංගු වන්නේ ය. එයින් උන්වහන්සේ දේශනා කළ සියලු දේශනාවන් පිළිබඳව පටුනක් දැක්වූවා යයි සිතීමට ඉඩ ඇත.
අනතුරුව ‘භන්ද දානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’ මහණෙනි, සියලු සංස්කාර ධර්මයෝ වෙනස්වීම් ස්වභාව කොට ඇත්තේ ය.



නොපමාව කුසල් දහම් හි යෙදෙන්න යනුවෙන් කළ දේශනය බුද්ධ ධර්මයේ මූල න්‍යායක් කියා පාන්නකි. එනම් ‘ඇති වූ සියල්ල නැතිවෙයි’ යන මූල න්‍යායයි.
බුදුන්ට පවා එයින් මිදීමට නොහැකි බවත් සියල්ල බිඳෙන සුළු බවත් ප්‍රකාශ කළහ. එහෙයින් අනිත්‍ය තත්ත්වයෙන් මිදීම සංඛ්‍යාත නිවන අවබෝධ කිරීම පිණිස අප්‍රමාදව බණ භාවනා වල යෙදෙන ලෙස අවවාද කරයි. මේ අන්තිම බුද්ධ වචනය ඉතාම ශ්‍රේෂ්ඨ කියමනකි. සියලු බුද්ධ ධර්මයම පිඬුකොට ගත්විට මෙම දේශනාවේ වචන කීපයකට ඇතුලත් වන්නේ ය.
බුදුන් වහන්සේ වේසාලියේදි ‘ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය’ යන ධර්ම කාරණා විස්තර කර දේශනාවක් කළහ.
එම ධර්ම හතර අවබෝධ නොකිරීම නිසා සසර බොහෝ කාලයක් සැරි සැරීමට සිද්ධ වන බව ප්‍රකාශ කළහ. සීලය නිසා සමාධියත්, සමාධිය නිසා ප්‍රඥාවත් ඒ තුනම නිසා විමුක්තියත් වශයෙන් ලැබෙන පරිදි එහි විස්තර කර ඇත.
බුදුරජාණන් වහන්සේ පාවා නුවරින් කුසිනාරාවට වඩින අතර මග ‘කුකුත්ථා’ නදිය අසලදී කාලාම ගෝත්‍රික පුක්කුස මල්ල රාජ කුමාරයා, පැවිද්දන්ගේ ශාන්ත විහරණය ගැන කළ ප්‍රකාශය නිසා දේශනා කළ ධර්මය අගනේය. පැවිද්දන් සංඥාව අවධිව, ශාන්ත වූ ඉඳුරන් ඇතිව ඒකාරම්මණව සිටින විට බාහිර ලෝකයේ අරමුණු නොගන්නා අතර ඒවා කෙරෙහි සිත යොමු නොවන බව ප්‍රකාශ කොට වදාළහ.
බුදුන් වහන්සේ චූන්ද කර්මාර පුත්‍රයාගේ සූකර මද්දව දානය බුදුවන දා සුජාතාවගෙන් ලැබුණු කිරිපිඬු දාන මෙන් එකම ආනිසංසදායි පින්කමක් බව පිරිනිවන් මඤ්චකයේදී ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේගේ මහා කරුණා ගුණය හා කෘතවේදි ගුණය ප්‍රකට කරන්නේ ය. චුන්ද රංකරුට මහජනයාගේ දෝසයක් නොපැමිණීම සඳහා එසේ දේශනා කරන්නට ඇතැයි සිතිය හැක.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිට ආනන්ද හිමියන් අමතා සැදැහැවත් කුල පුත්‍රයා විසින් දැකිය යුතු සංවේග කටයුතු ස්ථාන හතරක් දේශනා කළහ. තථාගතයන් වහන්සේ උපන් තැන බුදුවුන තැන ධම්ම චක්ක ප්පවත්තන සූත්‍රය දේශනා කළ තැන පිරිනිවන් පා වදාල තැන යන ස්ථාන හතර සංවේග කටයුතු දැකිය යුතු ස්ථාන වශයෙන් පෙන්වූහ.
මෙය පශ්චාත් කාලීන බෞද්ධ සංස්කෘතිය කෙරෙහි මහත් සේ බලපෑ බව පෙනේ.
ධර්මාශෝක රජතුමා එම ස්ථාන වලට ගොස් වැඳපුදා, එම ස්ථාන වල ශිලා ලිපි පිහිට විමෙන්ද ඒ කරුණ පැහැදිලි වෙයි. අදත් ලාංකීය බෞද්ධයින් දඹදිව වන්දනාවේ යාමට මහත් රුචියක් දක්වන්නේ අර ඉහත දැක්වූ දේශනාව අනුව යාමෙනි.
මාගමුන් කෙරෙහි කෙසේ පිළිපදිමු දැයි ආනන්ද හිමියන් ඇසූ ප්‍රශ්නයට බුදුරදුන් වදාළේ සිහිනුවනින් යුක්තව කටයුතු කරන ලෙසය. එසේ උන්වහන්සේ දේශනා කිරීමේ වැදගත්කම පැහැදිලි වන්නේ පළමුවන ධර්ම සංගීතියේදි ආනන්ද හිමියන්ට චෝදනා කළ අවස්ථාවේ දී මාගමුන්වඩා ඇසුරට ගැනීම භික්ෂූන්ට නොයෙක් චෝදනා එළඹීමට හේතු වන බව උන්වහන්සේ අවබෝධ කොට ගෙන තිබිණ.
ඒ නිසා ඉහත දැක් වූ අයුරින් පිළිපැදීමට අවවාද කරන ලදී. එසේම තථාගත සිරුරට පිළිපඳින ආකාරය විස්තර කිරීමද පසුකාලීනව බෞද්ධ අධ්‍යයන ක්‍රම කෙරෙහි බලපා ඇත.
බුදුන්ගේ සිරුරට සත්කාර කළ යුතු ආකාරය සක්විති රජෙකුගේ සිරුරට කළ මනා මෙන් යැයි විස්තර කොට දක්වා තථාගතයන් වහන්සේගේ ථූපයක් කළයුතු බවද පෙන්නු සේක.
ඒ ථූපාභාර කළයුතු අය හැටියට බුදු, පසේ බුදු, ශ්‍රාවක (රහත්) සක්විති රජු, යන සතර දෙනා දක්වා ඇත.
මෙසේ ථූපාභාර කළයුතු යැයි දේශනා කිරීම නිසා අනාගත බෞද්ධ කලා ශිල්පීන්ගේ හා බෞද්ධ සංස්කෘතියේ ආරම්භය හා වර්ධනය පිණිස මූලාරම්භ වුන බව පැහැදිලි වේ. දඹදිව සාංචි භාරුත් ආදි චෛත්‍යයන් ද කනිෂ්ක රජුගේ චෛත්‍ය නිර්මාණයන්ද බිහිවීමට පමණක් නොව ලංකාවේ චෛත්‍ය කර්මාන්තයන්ගේ වර්ධනයටත් එම දේශනාව මුල් වූවා යැයි සිතීමට අවස්ථාව ලැබේ.
බුදුන් වහන්සේ ආනන්ද හිමියන් කෙරෙහි ආශ්චර්ය අද්භූත ධර්ම හතරක් පවතින බව ප්‍රකාශ කොට ඒවා සක්විති රජෙකු තුල ඇති ආශ්චර්ය අද්භූත ගුණයන්ට සමාන කර දක්වයි. එයින් උන්වහන්සේ තම උපස්ථායකයාගේ ගුණවර්ණනාව කිසි පැකිලීමක් නොමැතිව අනෙක් භික්ෂූන්ට දේශනා කළ බව පෙනේ. ඇති ගුණ කීම හෙවත් උපකාර කළ අයගේ් ගුණ කීම බෞද්ධ සමාජයට මේ නිසා පුරුදු පුහුණු විය. බුදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම එබදු ගුණ ප්‍රකාශ වීම ආනන්ද හිමියන්ගේ උසස් ගුණ හා වැදගත් කම අනෙක් භික්ෂූන්ට අවබෝධ වීමට උපකාරයක් වූවා යැයි සිතීමට පුළුවන.
බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවක සුභද්‍ර නම් පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය ඉතාම කෙටි එකකි. උන්වහන්සේගෙන් අන්තිම ශ්‍රාවක සුභද්‍ර ඇසූ ප්‍රශ්න පැත්තකින් තබා ඔහුගේ් සිත දියුණු කිරීම සඳහා ආර්ය මාර්ගය හා බුදු දහමේ ගැඹුර දැක්වෙන ධර්ම දේශනාවක් දේශනා කළහ. එයින් සුභද්‍ර පැහැදි රහත් විය. සුභද්‍රගේ සිද්ධිය ගැන සලකා බලන විට අන්තිම මොහොතේ පවා තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස වෙහෙසුන බව පෙනෙන අතර උන්වහන්සේගේ මහා කරුණා ගුණය පැහැදිලි වෙයි. උන්වහන්සේගේ වෙහෙස නොබලා අනුන්ගේ යහපත පිණිස අවසාන මොහොත දක්වාම පර වැඩ නිරත වූහ.
‘සියා ඛො පනානන්ද, තුම්භාකං එව මස්ස අතීත සත්ථුකං පවචනං නත්ථි නොසත්ථාති? න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබබං යො වො ආනන්ද මයා ධමේමාච විනයොච දෙසිතො පඤ්ඤතේතා සො වො මමච්චයෙන සත්ථා යනුවෙන් බුදුන් වහන්සේ කළ දේශනාව අනාගත ශාසනය දෙස බලා කළ එකකි.
එයින් බෞද්ධ ශාසනය අශාස්තෘක යැයි නොසිතා බුදුන් වහන්සේගේ ධර්ම ශාස්තෘත්වයෙහි ලා තබාගන්නා ලෙස අවවාද කර ඇත.
බුදුන් වහන්සේගේ ධර්ම විනය දෙක ශාස්තෘ ලෙස සලකන්නට යැයි කළ අවවාද අනුව යමින් දඹදිව පලමුවන හා දෙවන ධර්ම සංගීති දෙකට ධර්ම විනය සංගිති යන නාමය පවා ලැබුණු බව පෙනේ.
බුදුන් වහන්සේ එම දේශනාව කළේ බුද්ධ ශාසනයේ චිර ජීවනය අපේක්ෂාවෙනි. ‘ආකංඛමානො ආනන්ද සංඝො මමච්ජයෙන බුද්ධානු බුද්දකානි සික්ඛා පදානි’ බුද්දකානි ශික්ෂා පද සමුහනය කළ හැකිය’ මෙයින් උන්වහන්සේ සංඝයාට ශාසනයේ බර පැවරූහ. මුලදී උන්වහන්සේ විසින් විනය නීතිරීති වෙනස් කිරීම පැන වීම ලිහිල් කිරීම ආදිය කරන ලදී.
නමුත් උන්වහන්සේගේ ඇවෑමෙන් සංඝයාට එම බලය පැවරින.
එහෙයින් කුඩා කුඩා සික පද වෙනස් කිරීමට පමණක් එම බලය පවරා ඇත්තේ එක්කෙනෙකුට පමණක් ශාසනභාරධාරි ප්‍රමුඛත්වය නොදී මුළු සංඝයාටම එම තත්ත්වය පැවරීමෙන් අනාගතයේදී ශාසනයේ පැන නගින විවිධ ගැටලුවලට පිළියමක් කල් ඇතුවම බුදුන් වහන්සේ යෙදුවා යැයි සිතීමට ඉඩ ඇත. එසේම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ ප්‍රතිපදා කෙරෙහි හෝ සැකයක් විමතියක් ඇති නොකර ගන්නා ලෙසද උන්වහන්සේ අනුදැන වදාරා ඇත.
එබඳු අදහසක් ඉදිරිපත් කරන්නට ඇත්තේ බුදුන් පිරිනිවීමෙන් පසු විවිධ පුද්ගලයින් ඉහත දැක්වූ සැක ඇති කිරීම හේතු කොට ගෙන ශාසනය කිලිටි වේය යන සැකය උඩ යැයි සිතීමට පුළුවන
Read More »

දානංච ධම්මචරියා

ඤාතකානංච සංගහො

අනිවජ්ජානි කම්මානි

එතං මංගල මුත්තමං






මේ එම ගාථාවයි. මෙහි උතුම් මංගල කාරණා හතරක් ඇතුළත් වී ඇත. එම මංගල කාරණා වන්නේ දානය, ධර්මයෙහි හැසිරීම, සිය ඥාතීන්ට සංග්‍රහ කිරීම , නිවැරැදි කර්මාන්තයන්හි නියැළීම යන සතරය.
මෙහි පළමු මංගල කාරණය වන්නේ දානය යන්නය. දානය යනු දීමයි. තමා සතු දේ අන්සතු කොට දීම මින් අදහස් කරයි. තමා සතු දේ අන්සතු කොට දීමේදී එය මතු යහපත් විපාක ගෙන දෙන්නේය යන නිවැරැදි දෘෂ්ටිය ඇතිව සිතේ ඇති වන ශෝභන චෛතසිකය හෙවත් පිරිසිදු චේතනාව දානය ලෙස නම් කළ හැකිය. මෙයයි ‘දාන’ යන්නට නියමිත නිර්වචනය වන්නේ. යමක් පරිත්‍යාග කරනා විට හට ගන්නා සොම්නස් සහගත සිතිවිලි ධාරාව දානමය පින්කමයි.
මෙහිදී ලබන උසස් සතුට සමාජයේ ගෞරවයට හා විශ්වාසයට පාත්‍ර වීම , දායකයාගේ කීර්ති රාවය පැතිරීම දන් දෙන අය මෙලොවදී ම ලබන ආනිශංස කීපයකි. පරලොව දිව්‍ය මානුෂික සැප සම්පත් ලැබීමට දානය හේතුවකි. එහෙත් දන් දෙන බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ, එය නොවෙයි. දානයේ ප්‍රතිඵල ලෙස ඒ දේවල් නිරායස විය යුත්තේ “ සසර ගමන නිම කර ලබන නිවන් සුවයයි . ඒ සඳහා පදනම දානමය කුසලයෙන් ඇතිකර ගත හැකිය. මල් පහන් පිදීම - අන් අයට යමක් දීම වැනි ක්‍රියා ආමිස දානයි. සිල් රැකීම භාවනාදියේ තම දේවල් අත්හැරීම ලෞකික බැඳීම් වලින් මිඳීම සුළු වශයෙන් හෝ සිදු වෙයි. ඇලීම් බැඳීම් තුනී වනවා නම් එයයි. දානමය කුසලය සිදු කිරීමේ පරමාර්ථ මෙය නිවනට උපනිශ්‍රය වෙයි. ලෝභය තුනී කිරීම මින් අදහස් කරයි. ලෞකික සැප සම්පත් හා දෙව් සැප බලාපොරොත්තුවෙන්ම දන් දෙනවා නම් එය ද පිනකි. එහෙත් එම පින එක එල්ලේම නිවන සඳහාම යොමු නොවෙයි. එහෙත් ඉහත සඳහන් කළ පරිදි දානය සමඟ ලෝභාදී කෙලෙස් යටපත් කිරීමෙන් ලබන කුසලය නිවනට පාදකවෙයි.
මෙහි සඳහන් දෙවන මංගල කාරණය වන්නේ ධර්ම චර්යාවෙහි හැසිරීමයි. ‘ දස කුසල කර්ම පථ වල හැසිරීම මින් අදහස් වෙයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර යන කායික දුසිරිත් වලින් වැළකීම හා කරුණාව, පරෝපකාරය, සුචරිත දහම් හි හැසිරීම ධර්ම චර්යාවයි. එසේම මුසාවාද, කේලාම්, ඵරුස වචන, හිස් වචන, යන වචනයෙන් වන වැරැදි වලින් වැළකී සත්‍ය වූ අර්ථවත් වදන් තෙපළන්නේ නම් එය ධර්ම චර්යාවයි. මේ හැරුණු විට දැඩි ලෝභය , තරහා ගති , වැරැදි විශ්වාස ආදී මානසික තැවුල් වලින් වෙන් වී දහමට අනුව දිවිය ගත කිරීම ධර්මචර්යාවයි. නිරන්තරයෙන් ඉහත සඳහන් අකුසල කර්ම වලින් වැළකී ධර්මානුකූල ජීවිත ගත කිරීම මෙයින් අදහස් කරයි. ධර්මපාල ජාතකයෙන් කියැවෙන පරිදි ප්‍රාණඝාතාදී අකුසල කර්ම වලින් වෙන්වී ධර්මානුකූලව ජීවත් වීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකිය.
මෙහි සඳහන් තුන් වන මංගල කාරණය වන්නේ ඤාතකානංච සංගහෝ ‘ යන්නයි. තම ඥාතීන්ට සංග්‍රහ කිරීම උදව් උපකාර කිරීම මින් කියැවෙයි.
මෙලොව උපන් සැමට කවරෙකු හෝ ඥාතියෙක් සිටියි. විවිධ සම්බන්ධතා මත මේ ඥාතිත්වය ගොඩ නැගී ඇත. මේ සියලු ඥාතීන්ට සංග්‍රහ කළ යුතු වුවත් එය එක සමානව සිදු කළ නොහැකිය . මෙහිදී තමාට සමීපතම පුද්ගලයා ආසන්නම නෑයා ලෙස පිළිගනියි. තමාට නියම ආදරණීය ඥාතියා වන්නේ තම යහපතට දියුණුට මූලිකව ක්‍රියා කරන තැනැත්තායි. ඒ පි‍්‍රයශීලි ඥාතියාට තමාගෙන් ඉටු විය යුතු යුතුකම් මනාව ඉටු කළ යුතුයි.
සිඟාලෝවාද සූත්‍රාගත සමාජ සම්බන්ධතාවල යුතුකම් ආදිය ඥාති සංග්‍රහ ලෙස නම් කළ හැකිය.
ඊළඟ මංගල කාරණය වන්නේ ‘අනවජ්ජානි කම්මානි’ යන්නයි. මින් අදහස් කැරෙන්නේ නිවැරැදි කටයුතු කළ යුතු බවයි. අප ජීවත් වන විට විවිධ කටයුතු කරනා අතර ඉන් සමහර ක්‍රියා තමන්ටත් අන්‍යයන්ටත් හානිකර වෙයි. එසේම සමහර අය කළ ක්‍රියා ගැන සිතමින් පසු තැවෙයි. දුක් වෙයි. මෙහි නිවැරැදි ක්‍රියා ලෙස නම් කර ඇත්තේ තමන්ටත් අන් අයටත් හානියක් නොවන හිංසාවක් නොවන, දෙඅංශයටම යහපත සිදු වන ක්‍රියායි. එසේම යමක් සිදු කොට පසු තැවීමට හේතු නොවන සතුටු විය හැකි ක්‍රියාය. තවද තම සිතට එකඟ ආගම ධර්මයට පටහැනි නොවන - ලෝකාපවාදයට ලක් නොවන ක්‍රියා ය. එසේම පුද්ගල ලෞකික දැහැමි දියුණුවට සහ පරලොව දියුණුවට හේතු වන ක්‍රියාදාමය ද නිවැරැදි යහපත් ක්‍රියා ගණයට වැටෙයි.
එබඳු නිවැරැදි ක්‍රියා ‘කුසල ක්‍රියා’ ලෙසත් පුණ්‍ය ක්‍රියා ලෙසත් හැඳින්විය හැකිය. මෙවැනි යහපත් කර්ම කිරීමෙන් මෙලොව ප්‍රශංසාදිය හා පරලොව ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලැබිය හැකි නිසා එය දෙලොව දියුණුවට හේතු වන උතුම් මංගල කරුණක් වෙයි.
මෙහි සඳහන් කරන ලද මංගල කරුණු හතර ගැන ඔබේ අවධානය යොමු කොට , ඔබත් උතුම් ජීවිතයක් ගත කරන්න.
Read More »

ලක්දිව කාන්තා සමාජයේ විශාලතම පෙරැළියකට මඟ පෙන්වු කත සංඝමිත්තා තෙරණිය බව අවිවාදයෙන් යුතුව සැම දෙනාම පිළිගනිති. දඹදිව සිට මෙහි පැමිණි ඇය ශි‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වැඩම කරවීම ලංකා ඉතිහාසයේ කිසි දිනක අමතක නොවන වැදගත්ම සිදුවීමකි. ලක්දිව මෙහෙණි සසුනේ ආරම්භයත් සඟමිත් තෙරණියගේ වැඩම කිරීමෙන් පසු සිදුවිය.


බෞද්ධ යුගයට පෙර ඉන්දියාවේ කාන්තාවන්ගේ තත්වය විමසා බැලීමේදී පෙනී යන්නේ ඇයට සමාජයේ හිමිව තිබුණේ ඉතා පහත් තත්ත්වයක් බවයි. යම් පවුලක ගැහැණු දරුවකු ඉපදුනොත් ඇය පිළිගන්නා ලද්දේ සාපයක් හැටියටය. විවාහ නොවී ගෙදර වයසට ගියහොත් එයද නින්දාවක් ලෙස සැලකීය. යම් කාන්තාවක් විවාහය කරදීමට දෙමවුපියන් සිය සේසතම වියදම් කළ යුතුවිය. කාන්තාවන්ට සිය පියාණන් වෙනුවෙන් අවමංගල කටයුතු සඳහා අවසර ලැබුණේ නැත. ගෙදර දොරත්, මහජන කටයුතු වලිනුත් ඇය ඈත්කර තිබූ ආකාරය මැනවින් පැහැදිලි වෙයි. වැන්දඹු වුවහොත් ඇය පියාගේ හෝ පුතාගේ රැකවරණයට පත් වූ අයුරුද ඉන්දියානු සමාජය අධ්‍යයනයේදී පැහැදිලි වෙයි.
බෞද්ධ යුගය ආරම්භ වන්නට පටන් ගත්විට කාන්තාවෝ සමානත්වයෙන් පිදුම් ලදහ. එම තත්වය බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා සිදු වූ බව සෑම දෙනාම අවිවාදයෙන් පිළිගනිති. පුරුෂයාට බලය ක්‍රමයෙන් ගිලිහෙමින් ඇය ගෙදරත් සමාජයේත් පිළිගැනීමට ලක්වූවාය. එපමණක් නොව බුද්ධිය හා විනය අතින් කාන්තාවෝ ආදර්ශ සම්පන්න ලෙස ක්‍රියා කළහ. බුදු දහම දැනගත් පසු පුරුෂ පක්ෂය කාන්තාවගේ නිදහසට මං සලසා දෙමින් රළු පරුෂ භාවයෙන් මිදී ඇයට මෘදු ලෙස සලකන්නට පුරුදු වූහ. එම නිසා කාන්තාවට අධ්‍යාත්මික සුවය වන නිවන් අවබෝධයට අවස්ථාව සැලසිණ.
බුදුදහම නිසා කාන්තාවට ලැබුණු නිදහස යටතේ ඇය වැන්දඹුවක වූ විට මිනිසුන්ගේ අපහාස උපහාසවලින් තොරව මහමග යන්නට හැකියාව ලැබිණි. එකල සමාජයේ දෙමවුපියන්ගේ නොමද සැලකිල්ල ලැබුණේ දුවට නොව පුතාටය. එවැනි සමාජයක අපේ ලොව්තුරා බුදු පියාණෝ ප්‍රගතිශීලි දහම් මගක යමින් කාන්තාවට විමුක්ති මග විවර කළහ. බුදුන් වහන්සේ පෙන්වූ මේ මග නිසා ඹ්ෂතයේ අවසානයක් මෙන්ම, වටිනාකමක්ද ඇති බව කාන්තාවෝ තේරුම් ගත්හ. මේ නිසා ගෙදර වැඩත්, සමාජයේ වැඩත්, ආගමික වැඩත් සිදුකරන්නට ඇයට හැකියාව ලැබිණි. පුරුෂ පක්ෂය මෙන්ම කාන්තාව ද සසර ගමනින් එතෙරවීමට සිත , කය , වචනය සංවරයට යොමුවන්නට පටන්ගත්හ. ලෞකික ගිහි සැප පමණක් නොව, ලෝකෝත්තර සුවය සොයන්නට කාන්තාවෝ අධිෂ්ඨාන කරගත් බව පැහැදිලිව පෙනෙයි. මේ තත්ත්වය භික්ෂූණී ශාසනයේ ආරම්භයට හේතු විය.
බුදු දහමට අනුව නිවන් අවබෝධයට හොඳ පිිරිසුදු ජීවිතයක් ගත කළ යුතු බව පැහැදිලි වෙයි. එය ගිහි - පැවිදි, ස්ත්‍රී - පුරුෂ වශයෙන් භේදයක් නොමැත. අප එක් ආත්මයක නොව ආත්ම ගණනාවකදී සෑම ස්ත්‍රී පුරුෂයකු විසින් ඉතා ආයාසයෙන් ලබාගත යුතු ඵලය වන්නේ නිවනයි. අප මිදිය යුත්තේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බව අවබෝධ කරගත යුතුය.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිදහස් ධර්මයක් දේශනා කරන්නට පටන් ගත්විට දඹදිව කාන්තාවෝ ඒ ධර්මය දෙසට යොමු වන්නට පටන් ගත්හ. මෙම තත්ත්වයට හේතු වූයේ සමාජයේ කොන්කර කාන්තාව ඇද බැඳ තැබීමයි. නිදහස ප්‍රාර්ථනා කර සිටි කාන්තාවන්ට බුදුන් වහන්සේගේ, ධර්මය අමා වැස්සක් බඳුවිය. මුලින්ම සසුනට ඇතුළත් වූයේ යස කුල පුත්‍රයාගේ මව සහ ඔහුගේ භාර්යාවයි. පසු කලෙක මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේට මෙහෙණි සසුන පිහිටුවන ලෙස ඇරැයුම් කිරීමත් මෙහිදී ඉතා වැදගත් වෙයි.
මහා ප්‍රජාපතී ගෝතමිය සිදුහත් බෝ සතුන් ගේ සුළු මව කාන්තා විමුක්තිදායිකාව වූ බව මෙහෙණි සසුන ආරම්භ කිරීමට ගත් උත්සාහය තුළින් පැහැදිලි වෙයි. එසේම සිදුහත් කුමරාගේ භාර්යාව යශෝධරා දේවියද තවත් කාන්තාවන් සමග මෙහෙණි සසුනට ඇතුළත් වී එම සංස්ථාව ශක්තිමක් කළේය. මේ සියලු කාන්තාවෝ අෂ්ටගරු ධර්ම පිළිගෙන කටයුතු කළ අය වූහ.
මහා ප්‍රජාපතී ගෝතමිය පිළිබඳ කථා පුවත මෙහිදී විමසා බැලිය යුතු වෙයි. කාන්තාවන් පිරිසක් සමග ඇය කහවත් පොරවා ගෙන නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කරා පැමිණියේ ශ්‍රමණ ජීවිතයට ඇතුළුවීමටයි. එතුමිය තෙවරක් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියත් නොලැබිණි. පසුව මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තා පිරිස ඉතා දුක්මුසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ වේසාලියට වැඩි අවස්ථාවේ එතුමිය පිරිස සමග දුරකතර ගෙවාගෙන පයින්ම එම ස්ථානයට පැමිණියේ පැවිද්ද ලබා ගැනීමටයි.
බොහෝ දුර කතර ගෙවාගෙන පයින්ම පැමිණි මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස දැක අනුකම්පා සහගතව කාරුණික වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදු පියාණන් සමග කථා කොට එම පිරිස බලාපොරොත්තු වන සැනසිල්ල ලබාදීමට අධිෂ්ඨාන කළහ. කාන්තාවන්ට ස්වභාවයෙන්ම උසස් ශීලය ධර්මය ආරක්ෂා කළ හැකිය. එසේම අංගුත්තර නිකායේ සඳහන් වන අයුරින් මවටත් පුතාටත් ලෝභ , ද්වේශ මෝහ දුරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට හැකියාව පවතියි.
මෙහිදී ස්ත්‍රී- පුරුෂ දෙපක්ෂයේ කිසිදු බලතලයක් ගැන උන් වහන්සේ නොසිතූහ. එසේ සඳහන් කළ හැක්කේ බෞද්ධ සංස්ථාව තුළ සිව් පිරිසක් සිටීම, භික්ෂු - භික්ෂූණී , උපාසක , උපාසිකා වශයෙන්ස ද අග්‍ර ශ්‍රාවන - අග්‍ර ශාවිකා වශයෙන්ද තනතුරු දක්නට තිබීමයි. බුදුරජාණන් වහන්සේ කාන්තාවන් සඳහා පැනවූ ප්‍රථම අණ පනත් වන්නේ මුලින් පෙන්වූ අෂ්ට ගරු ධර්මයි.
අප ශ්‍රී ලංකාවට දඹදිව සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව, ධර්මාශෝක මහරජුගේ දියණිය සංඝමිත්තා මහ තෙරණිය රැගෙන වැඩියහ. ඇයටද මෙම උත්තරීතර තත්ත්වය ලැබුණේ මහා ප්‍රජාපතී ගෝතමිය හෙළි කළ ඒ මාර්ගය නිසා බව සැමදෙනාම පිළිගනිති’ දෙවන පෑතිස් රජුගේ ආරාධනාවෙන් එතුමිය දක්ෂිණ ශාඛාව රැගෙන වැඩි බව ඉතිහාසගතව සඳහන්ව ඇත.
ඉන්දියාවේ රජකම් කළ විශිෂ්ට රාජ්‍ය පාලකයා වූ අශෝක මහ රජතුමා දිග් විජයෙන්, ජනතාව අධික දුකින් කාලය ගත කරන අයුරු දැක එය අත් හළහ. එතුමා ජනතාව සුවපත් කරන ක්‍රමයන් සොයමින් සිටින විට, එක් දිනක් සඳලු තලයේ සිට බලන කළ මාලිගය ඉදිරිපසින් සන්සුන් ගමනින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දුටහ. එසේ දැක පණිවුඩකරුවන් යවා ඒ හිමියන් රජ මාලිගාවට ගෙන්වා කරුණු විමසූහ. නීග්‍රෝධ සාමණේරයන් පවසන්නේ ඉතා දුක් සහගත වැරැදි සිදු වුවත් හදවතින් ඒවා ගැන දුක්වන නිසා රජතුමා ඉතා අනුකම්පා සහගත අයෙකු බවයි. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ තම මවට පියාට වූ කරදර පෙන්වා දුන්හ.
පාටලි පුත්‍ර නුවර රජකම් කළ අශෝක රජු තම සොහොයුරා සුමන මරාදමා, මව පළවා හැරීය බවත් එතුමිය රොඩී රැහැනකට අසුවූ බවත්, පසුව ඇයගේ කුසින් නුගරුකක් යට ඉපදුන හෙයින් නීග්‍රෝධ නම් වූ බවත් පැහැදිලි කළහ. පසුව ඇය බුදු දහම පිළිගත් හෙයින් පුතා මහණ කළ බවත්, සිහිපත් කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සිය අතීත කථාව අශෝක නිරිඳුන්ට වටහා දුන්හ.
කුඩා සත් වයස ඇති සාමණේරයන් කෙරෙහි පැහැදුණු රජතුමා උන් වහන්සේ රජගෙදර නවතාගෙන ධර්මය ඉගෙන ගත්හ. ධර්මය තේරුම්ගත් රජතුමා අචල ශ්‍රද්ධා භක්තියෙන් යුත් බෞද්ධයකු වූ ආකාරය ඉතිහාස ගත කරුණු වලින් පැහැදිලි වෙයි. ධර්මාශෝක රජු තුන්වන ධර්ම සංගායනාවට පූර්ණ සහයෝගය ලබාදී, තම පුතාත්, දුවත්, සසුනට භාර කළහ. මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා අනුව දුවත්, පුතත් මහණ කිරීමෙන් ශාසනයෙහි දායාද ලදහ. තුන්වන සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් රටවල් නවයකට ධර්ම ධූතයන් යැවීමට කටයුතු කරන ලදී.
ලක්දිවට ප්‍රථම ධර්ම දූත ගමනක යෙදුනේ සිය පුතු වන මිහිදු මහ රහතන් වහන්සේය. උන් වහන්සේ ලක්දිවට වැඩම කොට මිහින්තලාවේදී දෙවන පෑතිස් රජු හමුවිය. එහි දී රජු තෙරුවන් සරණ ගොස් බෞද්ධයකු වූ අතර, රජ මාළිගය ඉදිරිපස සිට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූහ. එහිදී පැහැදුණු බොහෝ පිරිසක් පැවිදි වූහ.
ඉන්පසුව එම ධර්ම දේශනාව ශ්‍රවණය කළ කාන්තාවන්ටද සසුනේ පැවිදිවීමට අවශ්‍ය විය. මෙම ඉල්ලීම මුලින්ම සිදු කළේ දෙවනපෑතිස් රජුගේ බාල සොහොයුරාගේ බිරිඳ අනුලා කුමරියයි. එම කුමරිය සමග පන්සියයක් කුමාරිකාවෝ පැවිදිවීමට කැමැත්ත පළ කල අතර, එහිදී මිහිඳු මහරහතන් වහන්සේ සිය සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය කාන්තාවන් පැවිදි කිරීම සඳහා ගෙන්වාදීමට එකඟවූහ. මෙහිදී මෙම දූත මෙහෙවර සඳහා දෙවනපෑතිස් රජුගේ බෑණනුවන් වූ අරිට්ඨ කුමරු යෙදවීමට රජතුමා එකඟතාව පළ කළහ. ගෞතම බෝධිසත්වයන් වහන්සේට බුදුවීමට උපකාර වූ සෙවණ ලබාදුන් ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ ශාඛාවක් ලක්දිවට වැඩම කරවීමේ ගෞරවය හිමිවන්නේ සංඝමිත්තා තෙරණියටයි. එතුමිය පැවිදිවීමට පෙර අග්ගි බ්‍රහ්ම නමින් එතුමියට ස්වාමි පුරුෂයකු වූ බවත්, එම දෙපළට සුමන නම් පුතකු සිටි බවත් සඳහන් වෙයි. ඇයගේ උපාධ්‍යායිකාව ධම්මපාල මෙහෙණිය වශයෙන්ද , ආචාර්ය වරයා ආයුපාල මෙහෙණිය වශයෙන්ද පොත පතෙහි සඳහන් වෙයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ සොහොයුරිය වූ සංඝමිත්තා මහ තෙරණිය මෙහෙණි සසුන පිහිටුවීමට ලක්දිවට වැඩියේ අහසින් නොව මුහුදු ගමනකිනි. ඇය සමඟ මෙහි පැමිණි අය අතර උත්තරා, හේමා, ප්‍රසාදපාලා , අනගි, මිත්තා , දාසිකා, පෙග්ගු, පබ්බතා, මත්තා, මල්ලා, ධම්මදීය , මහාදේවී , පදුමා, හේමසාලා, උත්තලා, අන්ජලී, සාමා, යන මෙහෙණින් වහන්සේ වූහ. එම සියලු අය පැමිණියේ දඹකොළ පටුනෙන් බව දීපවංශය පවසයි.
භාරතයේ සිට ලක්දිවට වැඩම කළ සඟමිත් තෙරණිය දඹකොළ පටුන වෙත ගෙනෙන ලද ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව එහි සිට මහා පෙරහරකින් එදා අගනුවර පැවති අනුරාධපුර නගරය වෙත ගෙන එන ලදී. සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂූණීන් සඳහා දෙවනපෑතිස් රජු තුමාගේ මඟුලැතාගේ අත්හල අසල උපාසිකාරාමයක් ඉදිකරවූ බව සඳහන් වෙයි. සඟමිත් තෙරණියෝ ද සිංහල කාන්තාවන් පැවිදි කරමින්ද, ඔවුන්ට ධර්මය, විනය, කියා දෙමින් ද එහි වැඩ සිටියහ. මෙසේ එතුමිය භික්ෂුණී සසුනෙහි ව්‍යාප්තියට කටයුතු කළ ආකාරය ඉතිහාසගතව ඇත. සධම්ම නන්දනී, සෝමා, ගිරිදා, දාසියා, ධම්මා, ධම්මපාලා, මහිලා, සෝභනා, ධම්මන්තපාසා, තරමිත්තා, සාමා,, කාලා, උත්තරා, යන නම්වලින් හැඳින්වෙන මෙහෙණින් වහන්සේ ඇයගේ ශිෂ්‍යාවන් වූහ. (අනුලා, සහ ඇගේ පිරිවර සඟමිත් තෙරණිය වෙනුවෙන් ඉදිකළ විහාරය උපාසිකා විහාරය නමින් හැඳින්වේ. අනුලා බිසව ඉදිකළ විහාරස්ථ ගොඩනැගිලි සංඛ්‍යාව 12 ක් බවද, එයින් කිහිපයක් ප්‍රධාන ඒවා වූ බවද සඳහන් වේ. සිය සොහොයුරු මෙන්ම සංඝමිත්තා තෙරණියද මෙන්ම සංඝමිත්තා තෙරණියද සිය මුළු ජීවිතය සම්බුද්ධ ශාසනයේ වෙයි. සඟමිත් තෙරණිය ද වයස අවුරුදු 59 ක් වැඩ සිටි බවද, උත්තිය රජුගේ රාජ්‍ය කාලයේදී එතුමියගේ අභාවය සිදු වූ බවද සඳහන් වෙයි.
එම සිද්ධිය මුල් කරගෙන එවකට සිටි රජතුමා දින හතක ශෝක ප්‍රකාශ කාලයක් ප්‍රකාශයට පත් කළහ. එතුමියගේ අවසන් කටයුතු ථූපාරාමයට නැගෙනහිරින්, ජය ශ්‍රී බෝධිරාජයාණන්ට විවෘත තැනකද සිදුකළ බව ඉතිහාස ගත කරුණු වලින් පෙනෙයි.
සඟමිත් තෙරණිය ජීවමාන කාලයේදී කරන ලද ඉල්ලීමක් නිසා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස එම ආදාහනය කළ බව පැහැදිලි වෙයි. උත්තිය රජතුමා විසින් සංඝමිත්තා තෙරණියගේ ධාතු නිදන් කොට ස්ථූපයක් කරවන ලදී. ශ්‍රී ලංකා වාසීන්ට අනූපමේය සේවයක් සිදු කළ සඟමිත් මහරහත් මෙහෙණිය සිහිපත් කිරීම, කෘතවේදී අප සැමගේ යුතුකම වෙයි.
Read More »

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

Archives

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks