බුදු රජාණන් වහන්සේ ද විවිධ රෝගාබාධවලට ගොදුරු වූ හ. ඇතැම් රෝගාබාධවලට හේතු වූයේ පෙර කළ අකුශල කර්ම ය. මේ ඒ පිළිබඳ විස්තර කැරෙන ලිපියකි.
ලෝකයත්, සත්ත්වයාත් සසරේ පෙරැළෙන්නේ කර්මය නිසා යැ යි ද එය රියසකට කඩ ඇණය මෙන්
සංසාර චක්‍රයට සත්ත්වයන් බැඳ තබන්නේ යැ යි ද සුත්ත නිපාතයේ දැක්වේ. “කර්මය නොවූයේ
නම් සංසාරයක් නැත. සත්ත්වයෝ කර්මය දායාද කොට, කර්මය යෝනි කොට, කර්මය ඥාති කොට කර්මය
පිළිසරණ කොට වෙසෙති,” යනු බුදුන් වහන්සේගේ ඉගැන්වීම යි (සම්මස්සකා මානව සත්තා කම්ම
දායාද, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණා).කර්මය යනු කුමක් දැ යි වටහාගත හැකි සරල ම ඉගැන්වීම නම් සියලු සචේතනික ක්‍රියා කර්මය යැ යි යනුවෙන් වූ බුදුන් වහන්සේගේ ඉගැන්වීම යි (චේතනාහං භික්ඛ්වේ කම්මං වදාමි).
එහෙත් සියල්ල දෛවයට නොහොත් කර්මයට භාර දී අතපය හකුළාගෙන සිටීම බුදුසමය අනුමත නො කරයි. පෙර කී පරිදි ම කර්මය හා කර්මඵලය පිළිබඳ බුදු දහමේ එන ඉගැන්වීම ඉතා පුළුල් ය.
බුදුන් වහන්සේටත් කර්මය ඵල දුන්නා ය යනුවෙන් පොත-පතෙහි සඳහන් අදහසෙහි සත්‍ය-අසත්‍යතාව පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබාගැනීමට අද අපි මෙම ලිපියෙන් උත්සාහ දරමු. සැබැවින් ම බුදුන් වහන්සේට කර්මය ඵල දුන්නා ද? යන්න සාකච්ඡා කිරීමට පළමු ව උන් වහන්සේට ඵල දුන්නා යැ යි කියන අකුසල කර්ම කිහිපයක් පිළිබඳ ව විමසා බලමු.
01. පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනය පවතින දවස අප මුනිඳු ජෝතිපාල නම් බ්‍රාහ්මණයකු ව ඉපිද, කාශ්‍යප බුදුන් දැක, ‘මේ මුණ්ඩ ශ්‍රමණයාට බුද්ධත්වයක් කොයින් ද? එය පරම දුර්ලභ වූවකි. ඔය මුඩු මහණුන් දැකීමෙන් ඇති ඵලය කුමක් දැ?’ යි ආදි වශයෙන් මිථ්‍යා දෘෂ්ටියක් රැගෙන අවඥා කළහ. ඒ අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් බුද්ධත්වය ලැබීම සඳහා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරන්නට සිදු විය.
02. පෙර එක් භවයක අප මුනිඳු පහත් කුලයෙක ඉපිද ‘මුනාඩි’ නම් දූර්තයකු ව සිටියදී ‘සරභූ’ නම් පසේබුදු රජාණන් වහන්සේ නමකට, ‘මේ තෙම් ලාමක ස්වභාව ඇති දුශ්ශීලයෙකැ’ යි අසත්‍යයෙන් නින්දා පරිභව කළේ ය. ඒ අකුසල කර්මයේ විපාකයෙන් කලක් නිරයේ දුක් විඳ බුද්ධත්වයට පත් වූ පසු චිංචිමාණවිකාවගෙන් අවමන් විඳින්නට සිදු විය.
03. පෙර එක් භවයෙකදී අප මුනිඳු ‘මුලාරි’ නම් දූර්තයකු ව වසන්නේ, එක් දවසක් පසේබුදු කෙනකුන් දැක, ‘මේ තෙම ඇතුළත පව්කම් ඇති දුශ්ශීලයෙකැ’ යි බොරුවෙන් ආක්‍රෝශ කළේ ය. ඒ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් බුදුන් වහන්සේ ‘සුන්දරී’ නම් පරිබ්‍රාජිකාව සමඟ එක ගන්ධකුටියෙහි වසන ලදැ යි ඇයගෙන් බොරු චෝදනාවක් ලැබ, අපහාසයට ලක් විය.
04. පෙර එක් ජාතියකදී අප මුනිඳු බ්‍රාහ්මණ කුලයෙක ඉපිද තාපසයකු ව හිමවත වසන්නේ, පන්සියයක් මාණවකයන්ට වේදය උගන්වමින් සිටියේ ය. එක් දවසක් එතැනට පැමිණි අෂ්ටසමාපත්තිලාභි තාපසයකු දැක, ඊර්ෂ්‍යාවෙන් මඬනා ලද්දේ, ‘මේ තෙම කාමභෝගි කුහකයෙකැ’ යි බොරුවෙන් නින්දා කළේ ය. ඔහුගේ ශිෂ්‍ය මාණවකයෝ ද එසේ ම නින්දා කළහ. ඒ අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් පන්සියයක් භික්ෂූන් සහිත බුදුන් වහන්සේට ‘සුන්දරී’ නම් පරිබ්‍රාජිකාව මරණ ලදැ යි බොරු චෝදනාවක් එල්ල වී අපහාස විඳින්නට සිදු විය.
05. එක්තරා සිටු පුත්‍රයකුට භාර්යාවෝ දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පුත්තු දෙදෙනෙක් ද වූ හ. පෙර ජාතියකදී අප මුනිඳු එම පවුලේ වැඩිමල් පුතා ලෙස ඉපිද, තම පියාගේ අන්‍ය භාර්යාවකගේ පුතකු වූ බාලමලණුවන් උපායකින් රවටා ගෙන ගොස් මරණ චේතනාවෙන් යුතු ව ගිරි දුර්ගයකින් පහත හෙළී ය. පියාගේ ධනය තනි ව ම අයත් කරගැනීමේ ලෝභ චේතනාවෙන් සිය මලණුවන් කන්දෙන් පහළට පෙරළුව ද නොමැරුණු බැවින් ගලකින් ගසා පහර දී මරාදැමී ය. ඒ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් වෛර බැඳ සිටි දෙව්දත් තෙරගේ ගල පෙරළීම සිදු විය.
06. පෙර එක් ජාතියක අප මුනිඳු එක් අප්‍රකට කුලයෙක ඉපිද, ළදරු කාලයේ වීථියක ක්‍රීඩා කරමින් සිටියදී පිඬු පිණිස හැසිරෙන පසේබුදු කෙනකුන් දැක, ‘මේ මුණ්ඩ ශ්‍රමණයා කොහි යන්නේ දැ?’ යි කියා ගල් පතුරක් උන් වහන්සේ දෙසට දමාගැසී ය. එය උන් වහන්සේගේ පා පිට වැදී සම සිඳී ලේ වැගිරිණි. ඒ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් දේවදත්තයන් පෙරළූ ගලින් ගල් පතුරක් බිඳී අවුත් බුදු පියාණන්ගේ ශ්‍රී පාදය මත වැදී ලේ වහනය විය.
07. අතීත එක් ජාතියක අප මුනිඳු ප්‍රත්‍යන්ත දේශයෙක ඉපිද, එම දේශයේ රාජ්‍ය පාලකයා බවට පත් විය. දිනක් රජු කඩුවක් ද ගෙන නගරයෙහි පයින් යන්නේ, නගර වීථියෙහි යමින් සිටි නිරායුධ වැසියන් කඩුවෙන් ගසා දෙපළු කරමින් ගියහ. එම අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් ගල් පතුර වැදීමෙන් ශ්‍රී පාදයෙහි නැගුණු ගෙඩියට ශල්‍ය කර්මයක් කරන්නට සිදු විය.
08. පෙර එක් ජාතියක අප මුනිඳු ඇත් ගොව්වකු ව සිටියදී පිඬු සිඟා වඩින පසේබුදුවරයකු දැක, ඇතා කුපිත කරවා උන් වහන්සේ ඉදිරියට යැවී ය. උන් වහන්සේට හිංසා කරන අදහසින් ඇතු මෙහෙයවුව ද උන් වහන්සේ සිය ඍද්ධි බලයෙන් අහසට පැනනැඟ පිටතට වැඩම කර ඇත. එම අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් රා පොවා කුපිත කළ ‘නාලාගිරි’ ඇතා බුදුන් වහන්සේගේ ඉදිරියට මෙහෙයවිණි.
09. අතීතයෙහි එක් ජන්මයෙක අප මුනිඳු කේවට්ට කුලයෙක ඉපිද මසුන් මරන ධීවර පිරිසක් සමඟ
මසුන් මරන තැනෙකට ගොස් ඔවුන් මසුන් මරන දෙස බලා සතුටු වූ හ. ඒ අකුසල කර්මයෙහි
ප්‍රවෘත්ති විපාක වශයෙන් බුදු වීත් දරුණු හිසරදයකින් පීඩා විඳින්නට සිදු විය.10. අතීත එක් ජාතියක අප මුනිඳු දුප්පත් කුලයෙක ඉපිද වසන්නේ, දිනක් ඵුස්ස බුදුන්ගේ ශ්‍රාවක නමක් හැල් සහලින් කළ මිහිරි වූ ආහාරයක් අනුභව කරනු දැක, ඉවසාගත නොහී කොල මුණ්ඩ ශ්‍රමණය! යව බොජුන් අනුභව කරව, හැල් බොජුන් අනුභව නොකරව’ යි කියා උන් වහන්සේට ආක්‍රෝශ කළේ ය. ඒ අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් වේරංජාවෙහිදී පන්සියයක් භික්ෂූන් වහන්සේ සහිත බුදුන් වහන්සේට මිහිරි ආහාරයක් නොලැබ තුන් මසක් යව භෝජනයෙන් ම යැපෙන්නට සිදු විය.
11. පෙර එක් ජාතියෙකදී අප මුනිඳු ගහපති කුලයෙක ඉපිද ශක්ති සම්පන්න පුරුෂයෙක් විය. හෙතෙම මුළු දඹදිව පොරබැදීමෙන් ජය ගත් මල්ලවපොර ශූරයකු සමඟ තරගයට පිවිස පොරබැදීමේදී තම ප්‍රතිමල්ලයාගේ පහර වළකා දුන් ප්‍රතිප්‍රහාරයකදී මල්ලවපොර ශූරයා බිම වැටී කොඳු ඇටය බිඳිණි. ඒ අකුසලයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් බුදු වීත් දරුණු පිටකොන්දේ වේදනාවකින් නිතර පීඩා විඳින්නට සිදු විය.
12. පෙර එක් ජන්මයෙක අප මුනිඳු දක්ෂ වෛද්‍යවරයෙක් විය. හෙතෙම උදරාබාධයකින් පීඩා විඳි සිටුවරයකුට ප්‍රතිකාර කිරීමෙන් සුවය ලැබිණි. එහෙත් පොරොන්දු වූ පරිදි රන් කහවණු නොදුන් නිසා කෝපයට පත් ව රෝගියාට වෙනත් බෙහෙතක් දී වමන-විරේචන කළේ ය. ඔහු වමනය හා ලේ පාචනය නිසා මිය ගියේ ය. එම අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් බුදු වීත් ලෝහිත පක්ඛන්ධිකාබාධය (ලේ අතීසාරය) ඇති විය.
13. පෙර එක් ජන්මයක අප මුනිඳු පිපාසිත ගව දෙනක දිය බොන්නට සැරැසුණු ජලාශයේ වතුර බොර කිරීමේ විපාක වශයෙන් බුදුන් වහන්සේට ලේ වමනය වැලඳුණු වේලෙහි තෙවරක් ම කුකුත්තා නදියේ දිය බොර වීම නිසා පැන් ගැනීමට නොහැකි විය. ජලය පැහැදිලි වී ඇත්තේ ආනන්ද හිමියන් සත්‍ය ක්‍රියා කළ පසු ව බව දැක්වේ.
පොත-පතෙහි සඳහන් කතාපුවත් එසේ වුවත්, මේ පිළිබඳ ව විචාරශීලි ව බලන පූජ්‍ය බෝකුන්දර කුසලධම්ම හිමියන් පවසන්නේ බුදුන් වහන්සේ බඳු, පංචස්කන්ධයක් පමණක් ඇති පංචුඋපාදානස්කන්ධයක් නැති උතුමකුටත් මෙලෙස අකුසල කර්ම විපාක දුන්නා යැ යි පිළිගත නොහැකි බව යි. ජාති, ජරා, මරණ නිරෝධ කළ (අජරාමර) උතුමෝ නො මැරෙති; අවසානයේදී කය අතහරිති. සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු වසර හතළිස් පහක් තිස්සේ කය බිඳී යන තෙක් බුදුන් වහන්සේට කිසිදු සතුටක් හෝ දුකක් ඇති නො වී ය. ඒ උන් වහන්සේ මමත්වයෙන් තොර ව නිෂ්පුද්ගල තත්ත්වයට පත් වූ හෙයිනි; ඒ වේදනාව නිරෝධ කළ හෙයිනි. එසේ නම් කර්මයේ විපාක විඳින්නේ කවරෙක් දැ යි උන්වහන්සේ විමසා සිටිති.
ගිජ්ඣකූට පර්වතයේ සිට දෙව්දත් ගල් පෙරළීමේ හේතුවෙන් මිදී ආ ගල් පතුරක් බුදුරදුන්ගේ ශ්‍රීපාදයෙහි වැදී ලේ උපදවාලූ බව සංයුත්ත නිකායයේ දැක්වේ. බුදුන් වහන්සේට උපන්නා වූ ඒ වේදනා පූර්ව කර්ම විපාකයක් නොව, අනෙකකුගේ ක්‍රියාවෙන් උපදනා ලද බවත්, එහි කර්ම විපාක වූ දුක්ඛ වේදනාවක් නැති බවත් පූජ්‍ය බෝකුන්දර කුසලධම්ම හිමියෝ පෙන්වා දෙති. එලෙස ම බුදුන් වහන්සේට වැලඳුණු ලෝහිත පක්ඛන්ධිකාබාධය පූර්වයෙහි කළ කර්මයක් විපාක දීමක් නොව, සන්නිපාතයෙන් උපන්නක් බව ඒ හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙති. එලෙස ම බුදුන් වහන්සේට වැලඳුණු නොයෙකුත් කායික ආබාධ පෙර අකුසල කර්ම විපාක දීම් නොව, වාතාදි සමුට්ඨානයෙන් ම උපදනා ලද බව ද උන් වහන්සේ පෙන්වා දෙති.
බුදුන් වහන්සේ නොයෙකුත් කායික ආබාධවලින් පෙළුණු බව පොත-පතෙහි දැක්වේ. මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී ආනන්ද හිමියන් අමතමින් බුදුන් වහන්සේ ඉතා නිහතමානී ව පවසන්නේ ස්වභාවධර්මය අනුව සිදු වන වෙනස් වීම් බුදුවරයකුට වත් නවත්වාලිය නොහැකි බව යි.
බුදුන් වහන්සේට කර්මය ඵල නොදුන් බවට ගෙන ආ ඉහත අදහස් දැක්වීම්වලට පටහැණි වූ අදහස් දැක්වීම් ද ඇත. රහතන් වහන්සේ නමක්, බුදුන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සම වැදුණු පසු උන් වහන්සේට කිසිදු අනතුරක් සිදු නොවන බව ධර්මයෙහි සඳහන් වේ. එලෙස නිරෝධ සමාපත්තියට සමවැදුණු බුදුවරුන්ට රහතන් වහන්සේලාට කුසල, අකුසල කවර කර්මයක් වත් විපාක නො දේ. ලෝකය ම ගින්නෙන් විනාශ වී ගියත් උන් වහන්සේලාට කිසිදු අනතුරක් සිදු නො වේ. එහෙත් නිරෝධ සමාපත්තියෙන් මිදුණු විට කර්මය විපාක දිය හැකි ය. එලෙසින් ම සර්වඥතා ඥානයෙන් බලන වෙලාවටත් කර්මය විපාක දෙන්නේ නැත. එහෙත් සර්වඥතා ඥානය ආවර්ජනය නොකර සාමාන්‍ය ලෙස වැඩ ඉන්නා මොහොතකදී කර්මය විපාක දෙන්නට ඉදිරිපත් විය හැකි යි.
සර්වඥතා ඥානය පිළිබඳ කදිම සංවාදයක් මජඣිම නිකායේ තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයෙහි දැක්වේ:
වච්ඡගොත්ත පරිවැජියා: ස්වාමීනි, ඔබ වහන්සේ සියල්ල දනිති යි ද, සියල්ල දකිති යි ද, යන-එන, නිඳන-නොනිඳන හැම විට ම පවතින සර්වඥතා ඥානයෙන් යුක්ත යැ යි ද මා විසින් අසන ලදි. මෙය සත්‍යයක් ද?
බුදුන් වහන්සේ: වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම සර්වඥ ය; සියල්ල දනිති; යන-එන නිදන-නොනිදන හැම විට ම පවත්නා සර්වඥතා ඥානයක් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නො වේ.
වච්ඡය, ශ්‍රමණ ගෞතමයන් ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි යමකු කියන්නේ නම් එය අසත්‍යයක්
නො වේ. මම අනේක ප්‍රකාර පෙර විසූ භාවයන් සිහි කරන පූර්වේනිවාසානුස්මෘති ඥානය
ඇත්තෙමි; ...චුතුපපාත ඥානය ඇත්තෙමි; ... ආශ්‍රවක්‍ෂය ඥානය ඇත්තෙමි. වච්ඡය, මේ කියන
ලද ත්‍රිවිද්‍යාව මා සතු ව ඇත. යමෙක් ඒ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේ
ය.මෙයින් පැහැදිලි වන්නේ ත්‍රිවිද්‍යාව අවබෝධ කළ උතුමන් වහන්සේ තුළ පවා නිරන්තරයෙන් පවත්නා සර්වඥතා ඥානයක් නැති බව යි; අවශ්‍ය මොහොතේදී සර්වඥතා ඥානයෙන් අවශ්‍ය දේ ආවර්ජනය කළ හැකි බව යි; එසේ නැති ව යන–එන, නිදන-නොනිදන හැම මොහොතක ම පවත්නා සර්වඥතා ඥානයක් නැති බව යි.
බුදුවරුන්, රහතන් වහන්සේලා ආයුෂ සංස්කරණය කරගන්නා බව අප දනිමු. රහත් බවට පත් වූ පසු තමන්ට විපාක දෙන්නට අවශ්‍ය කරන කර්ම තමන්ට අවශ්‍ය පරිදි තෝරාගැනීමකට ලක් කළ හැකි ය. එහෙත් බුදුවරුන්, රහත්වරුන් කිසි ලෙසකින් කුසල කර්ම පමණක් තෝරාගන්නේ නැත. කල්ප ගණනකට ඈතදී තම මවු-පියන් හට පොලු–මුගුරුවලින් තළා මරාදැමීමේ හේතුවෙන් මුගලන් හිමියන්ට අවසන් ආත්ම භවයේදී සොරුන් අතින් පොලු-මුගුරුවලින් පහර කෑමට සිදු විය. තමා සතු ඍද්ධි ප්‍රාතිහාර්ය බලයෙන් එම දුකෙන් ගැලවීගත හැකි ව තිබුණත් උන් වහන්සේ එයට මුහුණ දුන්හ.
අවසාන වශයෙන්, කර්මය විපාක දීම සම්බන්ධයෙන් බුදු දහමේ එන අදහස වටහාගත හැකි ධම්මපදයේ සඳහන් ඉතා කෙටි පාඨයක් උපුටා දැක්වීම වැදගත් යැයි සිතමි:
“න හි පාපං කතං කම්මං
සජ්ජු ඛීරං’ව මුච්චතී
ඩහන්තං බාලමන්වේති
භස්මච්ඡන්තෝ’ව පාවකෝ.”
ධම්මපද: බාලවග්ගෝ: 12
‘කරන ලද අකුසල කර්මය එදින දෙවූ කිරි එදින ම මිදෙන්නාක් මෙන් විපාක නො දේ; අළු යට ගිනි පුපුර මෙන් පවු කළ පුද්ගලයා දවමින් යයි.’
අළුවලින් වැසුණු ගිනි පුපුර මත තණ පරඬැල් දර වැටීමෙන් හා වාතය හැමීමෙන් මහත් ගිනි කඳක් මැවේ.
Post a Comment