Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget

බෝධිසත්වයන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා දස පාරමී ධර්ම සම්පූර්ණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ තුන් ලෝවාසී සත්ත්වයා සංසාරයෙන් එතෙර කරවීම පිණිසය.


බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ යුගයේ තෙරුවන් සරණ ගොස් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නා පුණ්‍යවන්තයින්ද, සුගතිගාමී වන පුණ්‍යවන්තයන් අපමණ ය.
දිනක් බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් ජනපදයට චාරිකාවේ වැඩි සේක. එහිදී මාගන්ධිය නම් බමුණු යුවළ බ්‍රාහ්මණ ආගම ඇදහුවත්, පෙර කළ කුසලයක් නිසා අනාගාමී ඵලය දක්වා සිත දියුණු කර ගැනීමට ඔවුනට වාසනාව තිබෙන බව බුදුන් වහන්සේ දුටු සේක. මේ බමුණු යුවළට දුටු අය මන බඳින රූ සපුවකින් හෙබි, විවාහ වීමට කල වයස එළැඹි දියණියක් විය. මවුපියෝ ඇයට විවාහ කර දීමට සුදුසු රූ සපුවක් ඇති බෑණා කෙනෙකු සොයන්නට වූහ.
එදින මාගන්ධිය බමුණාට තමන් සුපුරුදු ගිනි පුදන ස්ථානයට ගිය විට, නුග සෙවෙනක භාවනානුයෝගීව වැඩවසන, දුටුවන් ගේ සිත් සනසන රූපයකින් යුත් බුදුන් වහන්සේ දැක ගැනීමට හැකි විය. රන් වන් පාටින් බබළන ශරීරයක් මේ තරුණ ශ්‍රමයන් වහන්සේට තිබෙන්නේ දිව්‍ය ලෝකයෙන් පහළ වූ කෙනෙක් වගෙයි. මොහු නම් මගේ දියණියට විවාහ කර දීමට කදිමයි යැයි සිතූ බමුණා තම නිවසට ගොස්, මාගන්ධියා කුමරිය හැකි ඉක්මණින් සරසවාගෙන එන ලෙස බැමිණියට දැන්වීය. ඉතා විසිතුරු ලෙස සර්වභරණයෙන් සරසවා, ශරීරය වර්ණ ගන්වා අනතුරුව තිදෙනාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියහ.
මාගන්ධිය බමුණා බුදුරදුන් සමීපයට ගොස් “තරුණ ශ්‍රමණයන් වහන්ස මේ ඉන්නේ මගේ එකම දියණියයි. මෙතෙක් අප හරිහම්බ කළ සියලු වස්තුව මැයටයි මැයගේ රුවට සමාන රුවක් මේ කුරු ජනපදයේම නොමැත. මැයට රාජ රාජමහාමාත්‍යාදීන් පවා විවාහ යෝජනා ගෙන ආ නමුත් මැයට වඩා ලස්සන කෙනකු අප සෙව්වේ ශ්‍රමණයන් වහන්ස! ඔය ශ්‍රමණ බව ඉවත් කොට මැය විවාහ කර ගන්න. එන්න මැය අතින් අල්වාගෙන අපේ ගෙදර යමු” යැයි කීවේ ය. කුමරිය තුළද බුදුරදුන් කෙරෙහි ඇල්මක් ඇති වූවා ය.
කුමරිය දෙසවත් නොබැලූ බුදුන් වහන්සේ මහා කරුණාවෙන් බමුණා දෙස බලා පින්වත් බමුණා තණ්හා රති, රාග නමැති මරදූවරු රාගය නමැති මිරිඟුව සොයාගෙන මාත් සමඟ යාමට අප්‍රමාණ උත්සාහයක් ගත්තා. වෙනත් කෙනෙකුට එසේ කළේ වී නම් සිහි විකල් වෙනවා. එවන් මායාකාරී ස්ත්‍රී රූපයට වශී නොවූ මාගේ සිත මේ ඔබගේ දියණිය දැක කෙසේ නම් වශී වෙයිද? මේ ශරීරය අලංකාර ලෙස සරසලා තිබුණට එය ස්ථාන නමයකින් අසූචි ගලන අසූචි කලයක්. පින්වත් බමුණ ඔබගේ දියණිය මා අතින් තබා පාදයෙන් වත් ස්පර්ශ කරන්න අකැමැති වෙමි. යැයි වදාළ සේක.
බමුණු යුවල බුදුරදුන් පිළිබඳ පැහැදීමට පත් විය. දේශනාව අවසන ඔවුහු තෙරුවන් සරණ ගොස් අනාගාමී ඵලය අවබෝධ කොට ගත්හ. නමුත් කුමරියගේ ඇස් ක්‍රෝධයෙන් පිරෙන්නට විය. “අනේ මා මෙන් ලස්සන කෙනෙක් මේ ජනපදයේම නැත. නමුත් මා අසූචි කලයකට සමකොට නිග්‍රහ කළා” යැයි බුදුරදුන් කෙරෙහි ද්වේශයක් ඇති කර ගත්තා ය. පසු කලෙක උදේනි රජුගේ මෙහෙසිය බවට පත් වූ ඇය රාජපුරුෂයන් හා එක්ව බුදුන් වහන්සේට හා තෙරුවන් සරණ ගිය පිරිසට නින්දා අපහාස කරන්නට වූවා ය. උදේනි රජුට සාමාවති යැයි තවත් බිසවක් වුවා ය. ඇයට මල් ගෙන එන ඛුජ්ජුත්තරා නම් සේවිකාවක් ද සිටියා ය. දිනක් මේ සේවිකාව බුදුරදුන්ගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත් වූවා ය.
ඇය ශ්‍රවණය කළ ධර්මය සාමාවතී බිසව ඇතුළු පන්සියයක් කනාත්වනට ද කියා දුන්නාය. මේ පිළිබඳව දැන ගත් මාගන්ධියා බිසව, සාමාවතිය ඇතුළු පිරිස ගොඩනැගිල්ලක් තුළට දමා සිරකොට ගිනි දැල්වූවා ය. තෙරුවන් සරණ ගිය පිරිස අමතා සාමාවතිය මෙසේ කීවා ය. “කිසිවෙක් ද්වේෂය ඇති කර නොගන්න.
මේ ගින්නෙන් දැවෙනුයේ කුණු ශරීරය පමණයි. ක්‍රෝධය, ද්වේශය ඇති වුවහොත් මීට වැඩිය ගිනි දැල් වලට පිච්චෙන්න සිදුවේවි”. නොබෝ වේලාවකින් ඔවුහු සියල්ලෝම අළු බවට පත් වූ අතර මෛත්‍රී සහගත වීම නිසා මරණින් මතු සුගතිගාමී විය.
මාගන්ධියගේ අමානුෂික ක්‍රියාව පිළිබඳව අධික ලෙස කම්පාවට පත් උදේනි රජු ඇය ඇතුළු පිරිසට ද බරපතල දඬුවම් පැමිණවීය. ඉන් මරණයට පත් වූ ඇය ඇතුළු පිරිස මරණින් මතු නිරයේ උපන්නාහ. බුදුරජාණන් වහන්සේ මේ කථා පුවත මුල් කර ගෙන පහත සඳහන් ධම්ම පද ගාථා දේශනා කරන්නට වූ සේක.

“අප්පමාදෝ අමත පදං -
පමාදෝ මච්චුනෝ පදං
අප්ප මත්තා න මීයන්ති -
යේ පමත්තා යතා මතා”

“සියලු කුසල ධර්මයන්හි අප්‍රමාදීව යෙදී සිටින්න, කුසල් වැඩීමට ප්‍රමාද බව සසර දුකට මාර්ගයයි. අප්‍රමාදී වූවෝ දුකට නොපැමිණෙති. පමාවූවෝ ජීවත් වූවත් මලවුන් වැනි ය.”

“ඒතං විසේසතෝ ඤත්වා -
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෝ පමෝදන්ති –
අරියානං ගෝචරේ රථා”

“ප්‍රමාද අප්‍රමාද දෙකෙහි වෙනස දැනගත් ඤාණවන්ත උදවිය ආර්යයන් හට ගෝචර වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලී අප්‍රමාදී ගුණය ගැනම සතුටු වෙති”.

“තේ ඣයිනෝ සාතතිකා -
නිච්චං දළ්හපරක්කමා
ඵු සන්ති ධීරා නිබ්බානං -
යෝගක්ඛේමං අනුත්තරං”

“නිරන්තරයෙන් ධ්‍යාන වඩන, නිරතුරුවම දැඩි වීර්යයෙන් ධර්මයෙහි හැසිරෙන පණ්ඩිතයෝ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කරති.”
බුදුරදුන් විසින් දේශනා කරන ලද ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාව ඉතා දුලභ අවස්ථාවකි. මාගන්ධියා කුමරියට ඒ අවස්ථාව ලැබුණ නමුත් ඇය දෙමාපියන් මෙන් අප්‍රමාදී වීමට උත්සාහ ගත්තේ නැත. ප්‍රමාද වූ පිරිසක් හා අප්‍රමාදී වූ පිරිසක් පිළිබඳවද, මහා කාරුණික බුදුන් වහන්සේගේ විතරාගී ගුණය පිළිබඳවද ඉහත කතා පුවතින් පැහැදිලි වන්නේ ය.

0 comments

Post a Comment

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks