Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget




මනෝ රෝග චිකිත්සාව යනු මානසික අපිළිවෙළවලට බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීමයි. මහා කාශ්‍යප හිමියන් හා මුගලන් හිමියන් දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන් දෙකකදීම බුදුන් වහන්සේ එතුමන් වහන්සේලා බැහැ දැකීමට වැඩමවා සුව දුක් විචාලා එම රෝගී තත්ත්වයන්ගෙන් මිදීම සඳහා බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දී ඇත. මනෝරෝග චිකිත්සාවේ දී බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීම වඩාත් උචිත බව බුදුන් වහන්සේ විසින් බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දීමෙන්ම පැහැදිලිවේ

එදිනෙදා ජීවිතයේ දී ඇතිවන අවුල් වියවුල් දුරලා මානසික සුවයෙන් ජීවත්වීම සියලු දෙනාගේම අභිප්‍රායයි. ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය වනනේ භාවනාවයි. සිත වර්ධනය කර සමාධිය වෙත යොමුකර ඉමහත් ප්‍රතිඵල ලබා ගැනීමට භාවනාව බෙහෙවින් උපකාර වේ. මෙම භාවනාව නූතන මනෝවිද්‍යාව තුළ මනෝචිකිත්සාවක් වශයෙන් යොදා ගත හැකිය.
බුදුන් වහන්සේ රෝග සූත්‍රයේදි දේශනා කොට ඇත්තේ මිනිසාගේ රෝගාබාධ මානසික හා ශාරිරික වශයෙන් දොකොටසකට බෙදිය හැකි බව යි. මනුෂ්‍ය වර්ගයා අතුරෙහි යමෙකු ස්වස්ථයා යයි කීමට සුදුසු ද ඔහුගේ මානසික හා ශාරීරික ක්‍රියා සමවිය යුතු යැයි සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ. එබැවින් රෝග විඥානයටත්, ස්වාස්ථ්‍ය විඥානයටත් රෝග නිදාන පිළිබඳ දැනීම වැදගත්වේ. මෙම රෝග නිදාන දැන ගැනීමෙන් රෝග කාරක හේතු වළක්වාලීම හෙවත් චිකිත්සාව පහසුකරයි.
බුදුන් වහන්සේ පෙන්වා වදාරන ලද රෝගාබාධ දෙකොට්ඨාසයෙන් ශාරිරික රෝග සඳහා, ඖෂධ වශයෙන් කරනු ලබන ප්‍රතිකර්ම නිර්දේශ කොට ඇත. ඒ සඳහා විනය පිටකයෙහි එන ‘භේසජ්ජඛන්ධකයත්’ පසුකාලීන ආයුර්වේදය පිළිබඳ පූර්ණ කෘතියක් වන ‘භේසජ්ජමඤ්ජුසාවත්’ මෙහිලා ප්‍රමුඛ ස්ථානයන් ගනී. එලෙසටම මානසික චිකිත්සාව ද විවිධ සුත්‍ර ඇසුරින් දේශනා කර ඇත. මානසික චිකිත්සා ක්‍රම අධ්‍යයනයට ප්‍රථමයෙන් පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරිත්වය බුදුදහමට අනුව විමසා බැලීමත්, පැහැදිලි කර ගැනීමත් අවශ්‍යය.
බුදු දහමට අනුව පුද්ගලයා යනු යථාර්ථ වශයෙන් පඤ්චස්කන්ධයට යෙදෙන ව්‍යවහාරයක් වේ. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යනු පඤ්චස්කන්ධයයි. මෙයින් රූප යනු ඇස, කණ, නාසය, දිව, ශරීරය, යන ඉන්ද්‍රියයන් හා ඉන්ද්‍රියන් සමඟ නිරතුරුව සම්බන්ධ වන බාහිර ලෝකයේ වර්ණ හා හැඩයන්,ශබ්ද, ගන්ධ, රස, හා ශීත උෂ්ණාදී ස්පර්ශයන් ද අදහස් කරනු ලැබේ. මෙහි සඳහන් වූ වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ස්කන්ධයන්, පුද්ගලයාගේ මානසික අංශයට සම්බන්ධ වූ එම කොටස් හතර වේ. ඒ මගින් පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරයි.
නූතන මනෝ විද්‍යාඥයන්ගේ අදහස් අනුව මිනිස් අවශ්‍යතා තුන් අකාර වේ. එනම්,
1.පුද්ගල පැවැත්ම සඳහා අවශ්‍ය වන ආහාර හා වස්ත්‍ර ආදිය
2.කීර්තිය හා ප්‍රශංසාව වැනි අපේක්‍ෂා හා බලාපොරොත්තු
3.ආධ්‍යාත්මික මිනිසාගේ අවශ්‍යතා අතර මානසික අවශ්‍යතා සෙසු අවශ්‍යතාවයන්ට වඩා පුළුල් හා ප්‍රබල වන බව .
චරක සංහිතාවේ ආසාත් ම්‍යෙන්ද්‍රියාර්ථ සංයෝගය වශයෙන් දක්වා ඇත්තේ ද මෙම අදාළත්වයම ය. එනම් ඇස, කණ, නාසය, දිව, සම යන මේ පසිඳුරන් ගේ් විෂය (ගෝචර ) යන් වන වර්ණ හා හැඩයන්, ශබ්ද, ගන්ධ ,රස හා ශීත උෂ්ණාදී ස්පර්ශයන්ද යන මේවා මුළුමණින්ම නොවිඳීම හෝ ඉතා අල්ප වශයෙන් විඳීම ඉන්ද්‍රිය අයෝගය (හීන යෝගය) වේ. මේ පසිදුරක් ගේ විෂය (ගෝචර ) යන් අතිම්‍රාත්‍රයෙන් විඳීම ඉන්ද්‍රිය අයෝගය (හීන යෝගය) වේ. මේ පසිඳුරන් ගේ විෂය (ගෝචර) යන අතිමාත්‍රයෙන් විඳීම එම ඉන්ද්‍රියන්ගේ අතියෝගයයි. එලෙසටම ඇස, කණ, නාසය, දිව, සම යන මේ පසිඳුරන් ගේ විෂය (ගෝචර) යන් වන වර්ණ හා හැඩයන් ශබ්ද, ගන්ධ, රස හා ශීත උෂ්ණාදී ස්පර්ශයන්ද යන මේවා විකෘති අයුරින් විඳීම එම ඉන්ද්‍රියයන්ගේ මිථ්‍යායෝගයයි. මෙම අසාත් ම්‍යෙන්ද්‍රියාර්ථ සංයෝගය රෝග නිදානයකි.
බුදු සමයට අනුව අපට සහජයෙන්ම උරුම වූ මානසික ලක්‍ෂණ කිහිපයක් ඇත. එනම්, රාගය, ද්වේශය, මෝහය හා අස්මීමානයයි. රාගය යනු ඇල්ම වශයෙන්ද ද්වේශය යනු විරුද්ධවීම වශයෙන්ද, මෝහය යනු රාගය, ද්වේශය නිසා සිතෙහි හටගන්නා අසහන තත්ත්වය වශයෙන්ද අසමීමානය යනු මම යන හැඟීම වශයෙන්ද සලකා ගත හැකි ය.මෙම ලක්‍ෂණ අඩු කරගත් තරමට ලෞකික ජීවිතය සාර්ථක වන අතර මෙම ලක්‍ෂණ වැඩි වන නිසාම ජීවිතයේ බොහා් ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ.
‘සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා “සියලුම පෘථග්ජන පුද්ගලයන් මානසික ලෙඩුන් ලෙස සේල සුත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එබැවිනි.එසේම සල්ලේඛ සූත්‍රයේදි මානසික රෝග හතලිස් හතරක්, බුදුන් වහන්සේ නම් වශයෙන් දක්වා ඇත. මෙම මානසික රෝග වලට ප්‍රතිකාර කිරීම මනෝ රෝග චිකිත්සාවයි.
මනෝ රෝග චිකිත්සාව යනු මානසික අපිළිවෙළවලට බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීමයි. මහා කාශ්‍යප හිමියන් හා මුගලන් හිමියන් දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන් දෙකකදීම බුදුන් වහන්සේ එතුමන් වහන්සේලා බැහැ දැකීමට වැඩමවා සුව දුක් විචාලා එම රෝගී තත්ත්වයන්ගෙන් මිදීම සඳහා බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දී ඇත. මනෝරෝග චිකිත්සාවේ දී බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීම වඩාත් උචිත බව බුදුන් වහන්සේ විසින් බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දීමෙන්ම පැහැදිලිවේ. භාවනා සම්බන්ධයෙන් ත්‍රිපිටකයෙන් උපුටා ගත හැකි සූත්‍ර දේශනා රාශියක් දැකිය හැකි ය. සතිපට්ඨාන සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය, ආනාපනා සති සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය යනාදි ය ඉන් කිහිපයකි.
“භාවෙති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා යනු යම් චේතනාවක් කරණ කොට ගෙන කුසල ධර්මයක් වැඩුවේ ද ඒ චේතනාව භාවනාව නම් වේ. මේ වැඩීම සඳහා මූලික පදනමක් ඇත. එම මූලික පදනම ශීලයයි. තුන් දොර සංවර කරගෙන මෙම ශීල ප්‍රතිපදාව ආරම්භ කළ හැකි ය. භාවනාවේ මූලිකම අරමුණ සහ අපේක්‍ෂාව දුක නැති කර ගැනීමයි. බුදුදහමේ පරම අපේක්‍ෂාව ද එයම වේ. යම් පුද්ගලයෙක් ශීලයෙහි පිහිටා සමාධිය ද විදර්ශනා ප්‍රඥාව වඩන්නේ ද ඔහු බුදුදහමේ පරම අපේක්‍ෂාව ඉටු කර ගනී.
භාවනාව වැඩිය යුතු දෙආකාරයකි. ‘සමථ භාවනා’ සහ විදර්ශනා භාවනා’ වශයෙනි. කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් හෙවත් යහපත් හොඳ කාර්යයන්ට අකුල් හෙළන කුසලයට විරුද්ධ, චිත්ත සමාධියට බාධා පමුණුවන ධර්මයන් සංසුන් කරන භාවනාව ‘සමථ භාවනා’ නම් වේ. සමථ භාවනාව ම චිත්ත භාවනාව ලෙස ද නම් කර ඇත.
විදර්ශනා භාවනාවේ අරමුණ සමාධියම නොවන අතර එහි ඵලය ප්‍රඥාවයි. ප්‍රඥාව යනු කුසල චිත්තය හා එක් වු විදර්ශනා ඥානය වශයෙන් විසුද්ධි මග්ගයේ සඳහන්ව අත. මෙම ප්‍රඥාව ගසකට සමාන කොට සැළකුවොත් එහි භූමි වශයෙන් සළකන්නේ පඤ්චස්කන්ධය, චතුරාර්ය සත්‍යය,පටිච්චසමුප්පාදය, දොළොස් ආයතන , ඉන්ද්‍රිය ආදි ධර්ම කරූණුය. එම වෘක්‍ෂයේ මුල්වනුයේ ශීලවිසුද්ධිය හා චිත්තවිසුද්ධියයි. “ විසුද්ධි” යනු පිරිසුදු වීමයි. ශීලය පිරිසිදු කිරීම ශීලවිසුද්දියයි. සිත පිරිසුදු කිරීම චිත්තවිසුද්ධියයි. ශීලය පිරිසුදු කිරීම යනු ප්‍රධාන වශයෙන් සතර සංවර ශීලය ආරක්‍ෂා කිරීමයි. පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීවපාරිසුද්ධි ශීලය, පච්චයසන්නිස්සිත ශීලය යනුවෙන් හැඳින්වෙන්නේ සතර සංවර ශීලයයි. ඇස්, කණ්, නාසාදි ඉන්ද්‍රිය වලට රූප, ශබ්ද, ගන්ධාදී අරමුණක් යොමු වූ විට ඒවා තදින් නොගෙන රාග වශයෙන් බැදීම් ද ද්වේශ වශයෙන් විරුද්ධ වීම් වලින් ද තොරව කටයුතු කිරීම ඉන්ද්‍රිය සංවර ශීලය යනුවෙන් අදහස් වේ. මේ ශීලය ආරක්‍ෂා කිරීම සඳහා සිහිය අවශ්‍ය වේ.
ඉන්ද්‍රිය සංවර ශීලය මඟින් ද කෙරෙනුයේ ආසාත් ම්‍යෙන්ද්‍රියාර්ථ සංයෝගය යන නිදාන පරිවර්ජනය හෙවත් කාරක හේතු වළක්වාලීමය. මෙය මනෝ මූලික චිකිත්සාවයි.
ප්‍රඥාපරාධ යනු ප්‍රධාන නිදාන ශීර්ෂයෙහි ලා ගැනෙන්නකි. බුද්ධිය අයථා කර්මයන්හි යෙදීම ප්‍රඥාපරාධ නම් කාය, වචී, මනෝ යන තුන් වැදෑරම් වූ කර්මයෙහි අහිතකර වූ පැවැත්ම ප්‍රඥාපරාධය වේ යයි චරක සංහිතාවේ සඳහන්වේ. බුදුදහමෙහි දැක්වෙන කාය කර්ම තුන වන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමෙසු මිච්ඡාචාර ද, වචී කර්ම හතර වන මුසාවාද, කේලාම්, පරුෂ වචන, හිස් බස් සහ මනෝ කර්ම වශයෙන් සැලකෙන අභිධ්‍යා (සතර සත්‍ය නොදැනීම) ව්‍යාපාද (අනුන් නසීවායි සිතීම) මිථ්‍යා දෘෂ්ඨි (පින්, පව් නැත. මෙලෝ – පරලෝ නැත යන අදහස) යන දස අකුසල් කෙරෙහි පැවැත්ම ප්‍රඥාපරාධ යැයි සැලකිය හැකිවේ. බුදුන් වහන්සේ සල්ලේඛ සූත්‍රයේ දී වදාරන ලද මානසික රෝග හතලිස් හතරට මෙම දස අකුසල් ද ඇතුලත් වේ. ප්‍රඥාපරාධ යන නිදාන පරිවර්ජනය හෙවත් රෝග කාරක හේතු වළක්වාලීම සඳහා සුදුසුම ක්‍රමවේදය භාවනාවයි. ප්‍රඥාවේ මූලය වන ශීල විසුද්ධිය හා චිත්තවිසුද්ධිය ආරම්භ කිරීමත් සමඟම මනෝ රෝග ප්‍රතිකාරය ද ආරම්භ වේ. එබැවින් බෞද්ධ භාවනාව මනෝ චිකිත්සාවක් ලෙස භාවිත කරමින් මනෝරෝග සුවකර ගැනීමට සියලු බෞද්ධයිනට උත්සාහ කළ හැකිවේ.

සියලු සත්ත්වයෝ සුවපත්වෙත්වා!
Read More »





“එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්ත නිබ්බදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො එකධම්මො ? මරණසති”
“එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ බහුල වශයෙන් නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, කෙලෙස් දුරුවීම පිණිස සන්සිඳීම පිණිස, විශිෂ්ට ඥාන ලැබීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් සුවය අත්පත් කරගැනීම පිණිස පවතින්නේය. කවර එක් දහමක්ද යත්, මරණ සතිය වැඩීමයි.”
මැරෙන බව සිහිනුවණින් මෙනෙහි කිරීම අප්‍රමාදිභාවයට පමුණුවන්නේය. ප්‍රමාද වීම සිත තුළ නීවරණ හටගැනීමයි. අපවිත්‍ර වූ සිතෙහි සත්‍ය දහම අවබෝධ කරගැනීමට හැකියාවක් ඇත්තේම නැත. දහම් ඇස පහළ නොවන්නේය. මෙලොව පරලොව දෙලොව පිරිහීමට පත්වන්නේය. සසර දීර්ඝ වන්නේය. මරණ සතිය වැඩීමෙන් තරුණ මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදයෙන් මත් නොවී සංවේගය බහුල කොට ප්‍රකට කරමින්, සසර බියකරු බව ප්‍රත්‍යක්‍ෂ කර දෙමින් , සියලු දුකින් මිදීමට මඟ විවෘත කර අමෘත මහ නිවනට සිත පත්කර වන්නේය.
ජරා ධර්මය කරා ඇදී යන සිත අජර ධර්මය කරා පරිවර්තනය කර ගැනීමටත් ව්‍යාධි ධර්මය කරා නිරන්තරයෙන් ගිලන් වන සිත නොගිලන් භාවයට වහා පමුණුවා ගැනීමටත් ජාති ධර්මය කරා කර්ම රැස්කරවන සිත කර්ම රැස් නොකොට අජාතිභාවයට පත්කරදීමට මරණය කරාම ඇදී යන අවිද්‍යා සහගත සිත අමරණීයත්වයට පත්කරගැනීමටත් මරණ සතිය බහුල කොට වැඩීම බෙහෙවින් උපකාරි වන්නේය. අතීතයෙහි ද ලොව්තුරු සුවය අත්පත් කර නොගත් එහෙත් කාමයන්හි විෂ්කම්භන වශයෙන් වීතරාගි වූ අරක නම් ශාස්තෘතුමා තම ශ්‍රාවකයන්ට ජීවිතයේ අස්ථිර බව වටහා දෙමින් මරණ සතිය වඩන ආකාරය පිළිබඳ අවවාද අනුශාසනා කළ ආකාරය විමසා බලමු.
“බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය අස්ථීරය. ස්වල්පය, දීර්ඝකොට නොවෙයි. බොහෝ දුක් සහගතය. උපායාස බහුල වන්නේය. නුවණින් අවබෝධ කරගත යුතුය. කුසල් දහම් අප්‍රමාදව වැඩිය යුතුය. බ්‍රහ්මචරිය හැසිරිය යුතුය. උපන්නහුට අමරණයෙක් නැත. මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේය.
බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය තණපත අගැ පිනි බිඳ වැන්නය. හිරු උදාවත්ම පිනිබිඳ පතිත වී වහා නොපෙනී යන්නේ යම්සේද චිරස්ථායි නොවේද මිනිසුන්ගේ ජීවිතය එයට උපමා කොට ඇත.
* වැසි පොද වැටෙන විට හටගන්නා දියබුබුළු වහා නොපෙනී යන්නා සේද
* දණ්ඩක් ගෙන දියෙහි ඇඳි ඉරක් සේද
* කඳු මුදුනෙන් හටගත් වේගවත් ජලපහර නොනැවතී ගලා බසින්නේ යම්සේද
* බලවත් පුරුෂයකු දිවගට ගත් කෙළ පිඩක් සේද
* දවසක් රත්කළ යකඩ කබලකට දැමූ මස් ටිකක් ලෙසද
* මරණයට නියම වු ගවදෙනක වධකාගාරයට පියවරක් පියවරක් පාසා සමීපවන්නා සේද උපන්නාවු සත්වයාට (මිනිසුන්ට ) මරණය උරුම වන්නේය. ජීවිතය ස්වල්ප වන්නේය. අස්ථිර වන්නේය.”
අරක ශාස්තෘතුමා මිනිසුන්ට එසේ අවවාද කරන කාලවකවානුව තුළදි ආයුෂ වර්ෂ සැට දහසක් පමණ විය. වයස අවුරුදු පන්සියය එළැඹෙන විට කුල කුමරියන් විවාහයට පත්වන්නේය. එතැන් පටන් ස්වාමි, දු දරුවන් සමඟ වයස වර්ෂ සැටදහස දක්වා ආයුෂ විඳින්නේය. ආබාධයන් සයක් පමණක් වන්නේය. ශීතය, උෂ්ණය, බඩගින්න, පිපාසය, මළපහ කිරීම සහ මුත්‍රා කිරීම ය යන්නයි.
මෙම අනුශාසනාව කරනු ලබන්නේ දීර්ඝායුෂ ඇති, අල්ප ආබාධ ඇති තම ශ්‍රාවක පිරිසටය. එබැවින් මේ සමයෙහි පරමායුෂ වසර අසූවක් පමණැති කාල පරිච්ඡේදය තුළ කෙතරම් උනන්දුවෙන් මරණ සති භාවනාවන් වැඩිය යුතුද යන්න සලකා බැලිය යුතුය. අප ලොව්තුරා බුදුන් වහන්සේ අරක ශාස්තෘතුමාගේ ඉහත ප්‍රකාශනය මනාකොට මතු කර දක්වමින් තමන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂුපිරිසට මරණ සතිය වැඩීමෙන් අප්‍රමාදි වන අයුරු දේශනා කළ සේක.
“මහණෙනි,අරක ශාස්තෘතුමා කියන ලද්දේ සත්‍යයක්මය. මනුෂ්‍යයාගේ ජීවිතය ස්වල්පය. දීර්ඝ කාලයක් නොවේය. බොහෝ දුක් ගැහැට විඳිය යුතුය. උපායාස බහුලව ඇතිවෙයි. මනා නුවණින් විමසිය යුතුය. අප්‍රමාදව කුසල් දහම් ඇතිව ආර්ය මාර්ගය (බ්‍රහ්මචරිය) වැඩිය යුතුය. උපන්නාහුට අමරණයක් නැත. මරණය ඒකාන්ත කොට ඇත්තේය. මහණෙනි, මෙකල්හි යමකු දීර්ඝායුෂ විඳින්නේ නම් සියක් වසරක් හෝ ඊට ස්වල්පයක් වන්නේය. සැටදහසක් ආයුෂ ඇතිකල ආබාධයන් සයක් පමණක් තිබියදීත් ජීවිතයේ අස්ථාවර බව මෙනෙහි කොට අප්‍රමාදව කුසල් සිත වැඩුවේ නම්, සියක් වසර දක්වා ආයුෂ අඩු වූ කල ආබාධද බොහෝ වන හෙයින් කුසල් සිත (මරණ සතිය) නිරන්තරයෙන් මෙනෙහි කටයුතුය.
මහණෙනි, සියක් වසරක් ජීවත්වන කෙනෙකු ඍතු විපර්යාසයටද දුකසේ මුහුණ දිය යුතුය. කායික, මානසික දුක් ගැහැට බොහෝ වන්නේය. සියක් අවුරුදු හේමන්ත ඍතුවද සියක් වසක් ගී‍්‍රෂ්ම ඍතුවද සියක් වසක් වර්ෂා ඍතුවද මෙසේ ඍතු තුන්සියයක්ම ගෙවිය යුතු වන්නේය. මෙසේ දුකසේ ජීවත්වන හෙතෙම කොපමණ ආහාර ලබාගන්නේද ආහාරය කරණකොටගෙන ඇතිවෙන ආබාධ බහුල වන්නේය. (ගිරිමානන්ද සූත්‍රයේ, ශාරීරික රෝග වැළැඳීම පිළිබද කරුණු අන්තර්ගත කොට ඇත. කියවා කයේ අස්ථිර බව වටහා ගන්න) වයස්ගතව මරණාසන්න වූ විට ආහාර නොගෙන ද්වාරයන් ගේ් පිරිහීම ඇතිව, අපමණ දුක් විඳින්නේය. ඉපැදීම කරණ කොටගෙන ජරා, ව්‍යාධි, මරණ දුක් සමුදාය ඇතිවන්නේය.
මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂි වූ, අනුකම්පා ඇති ශාස්තෘන් විසින් යමක් කටයුතු සඳහා දේශනා කරන ලද්දේද ඒ හැම සංවේගයෙන් යුතුව මා විසින් ඔබට ප්‍රකාශ කරන ලදී. තෙල රුක්මුල් ඇත. ශූ®න්‍යාගාර ඇත. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් සිත මුදවාගෙන ධ්‍යාන වඩවු. විදසුන් වඩවු. අප්‍රමාදව වාසය කරවු. පසුව විපිළිසර නොවවු. මේ තොපට මාගේ අනුශාසනාවයි.”
‘නාදික’ නම් ගමෙහි වැඩ වසන ලොව්තුරා බුදුන්වහන්සේ දිනක් මහණෙනි’යි භික්‍ෂූන් වහන්සේ ඇමතූ සේක.
“මරණ සති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමත පරියොසානා. භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ මරණ සතින්ති”
“මහණෙනි, භාවිතයෙන් බහුල කොට වඩන මරණසතිය මහත්ඵල මහානිසංස වෙයි. නිවන් පිහිට කොට ඇතියේ වෙයි. නිවන පරම කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහුදැ” යි මෙසේ වදාළ කල්හි පළමුවැනි භික්ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ හ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට මේ බඳු, සිතක්වෙයි, මමද මෙසේ මරණ සතිය වඩන්නෙමි”
“මහණ , ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහිද? ”
“මම එක් රෑ දවාල ජීවත්වෙන්නේ වේයැයි සිතා ඒතාක් කල් සෝවාන් ආදි ආර්ය මඟ ඵල නුවණින් ප්‍රතිවේධය පිණිස වීර්යයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි යෙදෙමි. මා විසින් ආත්ම හිත පිණිස මහණ කිස කරමි”
දෙවනුව අන්‍යතර භික්‍ෂුවක විසින් මරණ සතිය වඩන ආකාරය ප්‍රකාශ කරන ලදී. කෙසේද යත්,
“මට මෙබඳු සිතක් වෙයි. මම දවසක් ජීවත්වන්නේ යැයි සිතා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය ඵලය ලැබීම පිණිස ආත්ම හිත සුව පිණිස මරණ සතිය වඩමින් මහණ කිස කරමි.”
තෙවැනි භික්‍ෂූන් වහන්සේ විසින් මෙසේ සැල කරන ලදී
“මම ද භාග්‍යවතුන් වහන්ස, මරණ සතිය වඩමි”
“මහණ, තෙපි කෙසේ මරණ සතිය වඩන්නෙහිද?”
“මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළඳන කල්ජීවත් වන්නේ යැයි සිතා එම කෙටිකාලය තුළ ආර්ය ඵලය ලැබීමට වීර්යය කරමි.”
තවත් භික්‍ෂුවක් විසින් මෙසේ සැලකරන ලදී.
“භාග්‍යවතුන් වහන්ස මමද මරණ සතිය වඩමි. ”
“ මහණ කෙසේ මරණ සතිය වඩහිද ?”
“ මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් සතර බත් පිඬක් වළඳයිද ඒ තාක් ජීවත් වන්නේ වේ යැයි සිතා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ආර්යඵලය ලැබීමට ආත්ම හිත පිණිස මරණ සතිය වඩමින් මහණ කිස කරමි.”
තවත් භික්‍ෂුවක මෙසේ සැළ කළේය.
“මම ද භාග්‍යවතුන් වහන්ස මරණ සතිය වඩමි”
“මහණ තෙපි කෙසේ මරණ සතිය වඩහිද?”
“මට මෙබඳු සිතක්වෙයි. යම් පමණ කලකින් එක් ආහාර පිඩක් වළදම්ද, එතෙක් ජීවත් වන්නේ යැයි සිතා ඒ සුළු කාලය තුළ ශාස්තෘ ශාසනය තුළ ආර්ය ඵලය ලැබීමට උත්සාහවත් වෙමින් මහණ කිස ඉටු කරමින් මරණ සතිය වඩමි.”


අන්‍යතර භික්‍ෂුවක විසින් මෙසේ සැල කරන ලදී.
“භාග්‍යවතුන් වහන්ස, මම ද මරණ සතිය වඩමි.”
“මහණ, තොප කෙසේ මරණ සතිය වඩහිද?”
“භාග්‍යවතුන් වහන්ස, ආශ්වාස කොට ප්‍රාශ්වාස කරයිද, ප්‍රාශ්වාස කොට ආශ්වාස කරයිද, එතෙක් කල් ජීවත්වන්නේ වේයැයි සිතා ශාස්තෘ ශාසනය තුළ ආර්ය ඵලය ලැබීමට ආත්මහිත පිණිස මරණසතිය වඩමින් මහණ කිස කරමි.”
මෙසේ කී කල්හි මුලින් සඳහන් කරන ලද පළමුවැනි, දෙවැනි, තෙවැනි හා සිවුවැනි, භික්‍ෂූහු ප්‍රමාද විහරණයෙන් යුතුව වෙසෙති’යිද ලිහිල් කොට වෙසෙති’යිද ආශ්‍රවක්ෂය කිරීම පිණිස මන්දගාමීව මරණ සතිය වඩන අය වෙතියිද දැක්වූ බුදුපියාණන් වහන්සේ පස්වැනි හා සයවැනි භික්ෂු දෙනම අප්‍රමාදව කෙලෙස් තවන විර්යයෙන් යුතුව ආශ්‍රවක්ෂය සඳහා තියුණු කොට මරණ සතිය වඩන අය වෙතැයි ප්‍රශංසා කළ සේක. මෙම දෙසුම කෙළවර නැවතත් භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, පස්වැනි හා සයවැනි භික්‍ෂූන් වහන්සේ මෙන් අප්‍රමාදව ආශ්‍රවක්ෂය පිණිස මරණ සතිය වඩම්හ’ යි මෙසේ ශාස්තෘ ශාසනය තුළ හික්මිය යුතුයැ”යි වදාළ සේක. මෙසේ ඔබද සෑම ඉරියව්වකදීම, මනා සිහිනුවණින් යුතුව, සෑම ක්‍රියාවක්ම විදර්ශනා පාදක සිතින් බලමින් මරණ සතිය වැඩීමට උත්සාහ කරන්න.
Read More »

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks